
මෙම ලිපි පෙළෙහි පළමුවැනි ලිපියෙන් අපි ස්ථාවර තැන්පතුවක් දැමීම සඳහා සුදුසු ආයතනයක් තෝරාගැනීම ගැන සළකා බැලුවා. මේ ලිපියෙන් අපි ස්ථාවර තැන්පතුවකට ලැබෙන පොළී ප්‍රතිශතය සහ එය කොපමණ කලකට දැමිය යුතුද යන්න ගැන සොයා බලමු.
ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොළී ප්‍රතිශතය
ඔබට ස්ථාවර තැන්පතුවෙන් ලැබෙන පොළී ප්‍රතිශතය ඔබ විසින් දෙවනියට සලකා බැලිය යුතු කරුණ ලෙස දක්වන්න පුළුවන්.
කාලය අනුව. මේ පොළී ප්‍රතිශතය ඔබ ස්ථාවර තැන්පතුව දමන කාලය අනුව වෙනස් වෙනවා.
ගෝලීය ආර්ථික ප්‍රවණතා අනුව, ලෝක වෙළඳපලේ පවත්නා පොළී අනුපාත අනුව මෙය වෙනස් වෙනවා.
මහ බැංකුව විසින් තීරණය කරන පොළී මට්ටම්. ඔබ විධිමත් ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන කොයි මූල්‍ය ආයතනයක් තෝරා ගත්තත් එයින් ඔබට ලැබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන පොළී මට්ටම් පරාසයකට අනුකූල වීමෙන් අනතුරුව තීරණය වන ප්‍රතිශතයක්.
ඔබ තෝරාගන්න ආයතනය මෙහිදී බලපාන තවත් කරුණක්. ඔබ දන්නවා ඕනෑම භාණ්ඩයක මිල ඒ සඳහා වන ඉල්ලුම සහ සැපයුම මගින් තීරණය වන බව. ඉතින් සමහර ආයතන ස්ථාවර තැන්පතු සඳහා වැඩි පොළී ප්‍රතිශතයක් ලබාදෙන්නෙත්, තවත් ඒවා සාපේක්ෂව අඩු ප්‍රතිශතයක් ලබා දෙන්නෙත් මේ මුලධර්මයට අනුගතවයි.
තමන්ට තැන්පතු ලබාගැනීම පහසු ආයතන, උදාහරණයක් වශයෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලබාදෙන පොළී ප්‍රතිශත පොදුවේ ගත්තොත් අන් සියල්ලට අඩු බව ඔබට පෙනේවි. ඒ ඔවුන්ට පොළී ප්‍රතිශත වැඩිකිරීමෙන් විශේෂ වාසියක් නොවන නිසා. නමුත් සමහර කාල වකවානු වලදී විශේෂ අවශ්‍යතා සඳහා මේ අදහසට පටහැනි ආකාරයට බැංකු පොළී ප්‍රතිශත තීරණය කරන බවත් අමතක කරන්න එපා.
නමුත්, මුදල් ලබාගැනීම ඊට වඩා අපහසු ආයතන ස්ථාවර තැන්පතු එකතුවට මහන්සි විය යුතුයි. ඒවා ජනතාවට ආකර්ශණීය සේ දැක්විය යුතුයි. බොහෝ වාණිජ බැංකු, සංවර්ධන බැංකු සහ ෆිනෑන්ස් සමාගම් ස්ථාවර තැන්පතු එක්කරන්නට මහන්සි වෙනවා. තම ආයතනයට එතරම් මුදලක් ගලා එන්නේ නැති ආයතන තමන්ගේ ස්ථාවර තැන්පතු වඩාත් ආකර්ෂණීය කරන්නට බොහෝ සේ වෙර දරන බව සහ මුදල් වැය කරන බව ඔවුන්ගේ ජනමාධ්‍ය දැන්වීම් වලින් ඔබට පෙනෙනවා. යම් සීමා යටතේ වඩාත් ඉහල පොළී ප්‍රතිශත ලබා දීමට හේතු වෙන එක කරුණක් මේ.
අධි ප්‍රතිලාභ අධි අවදානම සමග අත්වැල් බැඳගැනීම. අනික් අතින්, වැඩියෙන් මුදල් ලබාගැනීම අපහසු ආයතන විසින් ඔබට වඩාත් ඉහල පොළී ප්‍රතිශත ලබාදෙන්න පොරොන්දු වෙනවා. ආයෝජන ලෝකයේ ප්‍රධාන මුලධර්මයක් වන්නේ අධි ප්‍රතිලාභ අධි අවදානම සමග අත්වැල් බැඳගැනීම.
අධි ප්‍රතිලාභ = අධි අවදානම
අඩු ප්‍රතිලාභ = අඩු අවදානම
එනිසාමයි ශ්‍රී ලංකා රජයටත් මුදල් සපයන ජාතික ඉතිරි කිරීමේ බැංකු ස්ථාවර තැන්පතු වලට සාපේක්ෂ අඩු පොළියක් ලබාදෙන්නේ.
ආයතනයක අවදානම වැඩිවෙන්න වැඩිවෙන්න එයට තැන්පතු එකතු කරන්නට වැඩි මුදලක් යොදවන්න වෙනවා. උදාහරණයක් ලෙස, දැනට මුල්‍ය කටයුතු තහනම් කර ඇති ETI ආයතනයේ ස්ථාවර තැන්පතු දැන්වීම් දකින විට, ඔවුන් ලබා දෙන්නට පොරොන්දු වූ සාපේක්ෂ ඉහළ පොළී ප්‍රතිශත දුටු විට මට මේ ගැන මතක් වුනා. “මෙයට මුදල් දමන අයගේ මුදල් වලට මොනවා වේවිද දන්නැහැ” කියා දුක හිතුනා. ඒ වසර කිහිපයකට පෙර. දැන් ඔබටත් තේරෙනවා සිදුව ඇති දේ. ඒ ගැන වැඩි විස්තර වටහාගන්න මගේ පළමු ලිපිය කියවන්න.
ස්ථාවර තැන්පතුව දමන්නේ කොපමණ කාලයක් සඳහාද යන්න
එකම මුදල් ප්‍රමාණයක් සඳහා වුවත් ඔබ දමන ස්වථාර තැන්පතුවට එකම ආයතනයෙන් ලබා දෙනපොළී ප්‍රතිශතය වෙනස් වෙනවා කරුණු දෙකක් මත.
- එයින් එක කරුණක් වන්නේ දමන ස්ථාවර තැන්පතුවේ වටිනාකම.
- දෙවැනි කරුණ ඔබ මෙම ස්ථාවර තැන්පතුව දමන්නේ කොපමණ කාලයකටද යන්න.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මාසයකට, මාස තුනකට, මාස හයකට, වසරකට, දෙතුන් වසරකට හෝ පස් වසරකට යනාදී ලෙස ස්ථාවර තැන්පතු දමන්න පුළුවන්. මෙසේ දැමීමේදී ඔබට සොයා බලන්න සිදු වෙනවා මේ එක් එක් කාල වකවානු සදහා ලබාදෙන පොළී අනුපාතය කුමක්ද යන්න.
හදිසියේ අවශ්‍ය නොවන මුදලක් නම්, වසරක් හෝ දෙකක් හෝ තුනක් හෝ පහක් වැනි කාලයකින් ආපසු ලබා ගැනීම පිළිබඳ විශේෂ වෙනසක් නැතිනම්, මේවා සංසන්දනය කර බලා වැඩිම පොළී ප්‍රතිශතය ලබාදෙන ස්ථාවර තැන්පතු කාලය තෝරාගන්න ඔබට උනන්දු විය යුතුයි.
මේ පොළී ප්‍රතිශත ප්‍රවණතාවය ලෝක ආර්ථිකය සහ එහි තත්වය මත තීරණය වෙනවා. මා නිතරම මගේ සේවාදායකයින්ගේ ලිපි සහ වාර්ෂික වාර්තා සඳහා ගෝලීය ආර්ථිකය ගැන ඉදිරියට සහ පසුපසට බැලුම් හෙලන නිසා, මේ ප්‍රවණතා ගැන යම් අවබෝධයක් මා සතුයි.
එනිසාමයි 2020 මුල සිටම මගේ කාල පුර්ණවන ස්ථාවර තැන්පතු දිගු කාලීන පදනමක් සඳහා අලුත් කරගන්නට මා යොමු වුණේ. මගේ බැංකු කළමනාකරුවන් සහ බැංකු විධායකයින් මගෙන් ඇහුවා “මොකක්ද මේ කරන්නේ? මේ වසරෙන් කල් පිරෙන ඒවා එලෙසම නොතියා කරන දේ?” කියා. මා කීවේ ගෝලීය ආර්ථිකය පසුබසිනවා. එවිට අනිවාර්යයෙන්ම ඇමරිකාවේ සහ යුරෝපයේ මහ බැංකු සහ වෙනත් මහ බැංකු පොළී අනුපාත පහල දමනවා. එවිට ශ්‍රී ලංකා මහ බැංකුවත් එලෙස කරනවා. එනිසයි මගේ ස්ථාවර තැන්පතු වසර පහකට දමා එවකට ඒ සඳහා ලබාදුන් සාපේක්ෂ ඉහල පොළී අනුපාතයකට රඳවා ගන්නට හදන්නේ කියා. සමහරු මට හිනා වුණා.
නමුත් 2020 ආරම්භයේ, වසංගතයට පෙර තිබුන ස්ථාවර තැන්පතු පොළී ප්‍රතිශත සහ වර්තමාන ප්‍රතිශත බලනවිට පෙනෙනවා මා කළ දේ නුවණැති බව.
මේ කතාන්දරය එක්තරා ආයතනයක ආයෝජන කළමණාකරුවෙකුට කීවාම ඔහු එය අනුමත කළා පමණක් නොව මෙහෙමත් කීවා. “අපේ ආයතනයත් එහෙම කළා. එනිසා තමයි මේ COVID-19 වසංගත කාලයේ පවා අපේ ආයෝජන ආදායම් ඉතා ඉහළින් තබාගැනීමට අපට හැකි වුණේ. ඔබ කළ අන්දමින් ඔබ්බට යමින්, අපි, කල් පිරෙන ස්ථාවර තැන්පතු කල් පිරෙන්නට පෙර, ඒ මත ණය ලබාගෙන ඉහළ පොළී යටතේ අලුත් ස්ථාවර තැන්පතු ඇරඹුවා. අනික්වා කල් පිරුනාම ඒ ණය ගෙවා දැම්මා.
මෙලෙසින්ම ඔබත්, ඔබගේ ස්ථාවර තැන්පතු දැමීමට පෙර, ඒ සඳහා ලැබෙන පොළී ප්‍රතිශත, එය ලබාදෙන ආයතනයේ විශ්වාසවන්ත බව සහ ඔබ විසින් ස්ථාවර තැන්පතුව සඳහා තෝරාගන්නා කාලය සලකා බලන්න.
අද අපි කතා කලේ ස්ථාවර තැන්පතුවක් දැමීමේදී ලැබෙන පොළී ප්‍රතිශත, එය ලබාදෙන ආයතනයේ විශ්වාසවන්ත බව සහ ඔබ විසින් ස්ථාවර තැන්පතුව සඳහා තෝරාගන්නා කාලය තීරණය කරන ආකාරය පිළිබඳවයි. අනාගත ලිපිවලින් පහත දැක්වෙන කරුණු සහ වෙනත් කරුණු ගැනත් කතා කරනවා.
- ස්ථාවර තැන්පතුවෙන් ලැබෙන පොළී ලබාගත යුතු වන්නේ කෙසේද යන්න
- එය නැවතත් අලුත් වෙන සේ ආයෝජනය කිරීමට අවශ්‍යද යන්න
- ඔබගේ ස්ථාවර තැන්පතුවේ ඇරඹුම් මුදල කොපමණද විය යුතුද යන්න
ස්ථාවර තැන්පතු ගැන ඔබේ ප්‍රශ්ණ මෙම බ්ලොග් එකෙන් හෝ දියුණුව YouTube චැනල Facebook පිටුවෙන් අප වෙත යොමු කරන්න.
ලිපි පෙළ ඉදිරිපත් කිරීම: නිලූකා දිසානායක
දියුණුව සාර්තකත්ව Facebook කණ්ඩායමටත් එක්වීමට අප ඔබට ආරාධනා කරනවා.
නිලූකා දිසානායක විසින් ඉදිරිපත් කරන පුද්ගලික මුදල් පාලන වීඩියෝ නරඹන්නට දියුණුව YouTube චැනලයට පිවිසෙන්න. ඒ සඳහා අදම Subscribe කරන්න. එවිට අලුත් වීඩියෝ ගැන තොරතුරු ඔබටත් ලැබේවි.
Leave a Reply