
ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමේදී සැලකිය යුතු කරුණු ගැන සළකා බලන ලිපි පෙළක පළමුවැන්නයි මේ.
ඉදිරි ලිපි වලින් මෙම කරුණු ගැනත් විස්තර කිරීමයි මගේ අදහස.
- ඒ සඳහා තෝරා ගන්නා ආයතනය
- ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොළී ප්‍රතිශතය
- ස්ථාවර තැන්පතුව දමන්නේ කොපමණ කාලයක් සඳහාද යන්න
- ස්ථාවර තැන්පතුවෙන් ලැබෙන පොළීය ලබාගත යුතු වන්නේ කෙසේද යන්න
- එය නැවතත් අලුත් වෙන සේ ආයෝජනය කිරීමට අවශ්‍යද යන්න
- ඔබගේ ස්ථාවර තැන්පතුවේ ඇරඹුම් මුදල කොපමණද යන්න
ඒ සඳහා තෝරා ගන්නා ආයතනය
අප විසින් ස්ථාවර තැන්පතුවක් ආයෝජනයට තීරණය කල විට සලකා බැලිය යුතුයි පළමුවැනි සහ වැදගත්ම කරුණ වන්නේ තමා ස්ථාවර තැන්පතුව දමන ආයතනය කුමක්ද යන්න.
ඔබ හිතනවා ඇති මුලින්ම දැනගතයුතු වන්නේ පොළී ප්‍රතිශතය නෙමෙයිද කියලා. ඇත්තටම පොළී ප්‍රතිශතය ඔබ විසින් සලකා බැලිය යුතු දෙවැනි කරුණයි.
“තණ්හාය ජායතී සොකො” කියලා කියනවා නේ? තණ්හාව නිසා පොළිය විතරක් නෙමෙයි ඔබ තැන්පත් කරන මූලික මුදලත් ඔබට අහිමි වෙන්න පුළුවන්.
එසේ වන්නේ මුල්‍ය ස්ථාවර නොවන, මනා මුල්‍ය කළමනාකාරිත්වයක් සහ ප්‍රතිපත්ති රාමුවක් යටතේ ක්‍රියාත්මක නොවන, ශ්‍රී ලංකා මහ බැංකු අධීක්ෂණය යටතේ නොවන ආයතනයක් තෝරා ගැනීම නිසා.
එමගින් කියන්නේ නැහැ ශ්‍රී ලංකා මහ බැංකුව සමග ලියාපදිංචි වූ සියලු ආයතන හොඳ සේ සැලකිය යුතු බව. නමුත් මහා බැංකු අධීක්ෂණය යටතේ වන ආයතන වල ක්‍රියාකාරිත්වය ගැන යම් හෝ සොයා බැලීමක් සිදුවෙනවා. එවැනි ආයතනවල අක්‍රමිකතා හෝ නිසි ලෙස අවශ්‍ය දත්ත සැපයීමක් නොවුනොත් මහ බැංකු වෙබ් අඩෙවියේ ඒ ගැන සඳහනක් දමනවා. එලෙසම වාර්ෂික වාර්තා නිසි කලට හරිහැටි ඉදිරිපත් නොකරන මුල්‍ය සහ වෙනත් ආයතනවල ලැයිස්තුගත කොටස් දේශීය කොටස් වෙළඳපොළේ (Colombo Stock Exchange – CSE) විකීණීමද නවත්වනවා. මේ සියල්ල රතු කොඩි බව ඔබ දැන සිටිය යුතුයි.
ඉතින්, හොඳින් සොයා බලා ඔබේ ස්ථාවර තැන්පතුවක් ආයෝජනයට ස්ථාවර මුල්‍ය ආයතනයක් තෝරාගත යුතුයි.
මේ සඳහා වඩාත්ම සුරක්ෂිත ආයතන වන්නේ රජයේ බැංකු. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලු වාණිජ බැංකුවලත් ස්ථාවරත්වය ස්වාධීන විගණන සමාගම් මගින් වාර්ෂිකව ඇගයෙනවා. ඒ සියල්ල බොහෝ මුල්‍ය නීති රීති වලට යටත්වයි ක්‍රියාත්මක වන්නේ. එලෙසම ඒවා යම් කරදරයකට ලක් වුණොත් කෙසේ හෝ බිඳවැටීමකට ලක් නොවී බේරාගැනීමට රජය නිරතුරුවම කැප වන්නේ එමගින් අපගේ ආර්ථිකයට බොහෝ අහිතකර බලපෑම් වියහැකි නිසා.
එනිසා ඔබේ මුල්‍ය ආයෝජනය වාණිජ බැංකුවක දැමීමේ වරදක් නැහැ. එලෙසම සංවර්ධන බැංකුවක හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක, ෆිනෑන්ස් සමාගමක, ක්ෂුද්‍ර මුල්‍ය ආයතනයක හෝ වෙනත් තැන්පතු භාරගන්න ආයතනයක දැමීමේ වරදක් නැහැ. නමුත් ආයතනය ගැන හොඳින් සොයා බලා මෙය කල යුතුයි. අප විකල්ප මුල්‍ය ආයතන ගැන සළකා බැලිය යුතු වන්නේ ඇයිදැයි පසුවට කතා කරමු.
කොයි ආයතනයට වුණත් ලස්සන දැන්වීම් තිබ්බට ආකර්ශනීය පොලී මුදලක් ගෙවනවා යයි කිව්වට ඔබේ මුදල් භාර දෙන්නට පෙර එය ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ රෙජිස්ටර් වූ ආයතනයක් දැයි සොයා බලන්නට ඔබට පුළුවන්. ඒ සඳහා මේ ලින්ක් භාවිතා කරන්න.
- බලපත්‍රලාභී වාණිජ බැංකු
- බලපත්‍රලාභී විශේෂිත බැංකු
- බලපත්‍රලාභී මූල්‍ය සමාගම්
- ලියාපදිංචි මූල්‍ය කල්බදුකරණ ආයතන (Finance Leasing Establishments)
උදාහරණයක් ලෙස ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් “2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි සහතිකය අත්හිටුවීමේ නිවේදනය, 2020 ජූලි 13 වන දින සිට බලපැවෙත්වෙන පරිදි නිකුත් කරන” ලද බවත් ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී “2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතෙහි 10(3) වගන්තිය ප්‍රකාරව, 2021 අප්‍රේල් මස 12 දින ප.ව. 5:00 සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයක් ලෙස තිබූ ලියාපදිංචිය අත්හිටුවන ලද” බවත් මහා බැංකු වෙබ් අඩෙවියේ සඳහන් වෙනවා.
මේ ආයතනවල සහ ඊට යම් කලකට පෙර ගෝල්ඩන් කී ආයතනයේ ආයෝජනය කළ අයට අත්වුණ ඉරණම ගූගල් කර බලන්නට මම ඔබට ආරාධනා කරනවා. එවිට ඔබට තේරේවි කිසිම් ආයතනයක් පිටින් ඔපේ තුබූ පමණින් විශ්වාස නොකළ යුතු බව. මේ ප්‍රකට උදාහරණ අතලොස්සක් පමණයි. තව බොහෝ උදාහරණ ශ්‍රී ලංකාවේ හැම දෙසින්ම සොයාගන්නට පිළිවන්.
බොහෝවිට ඔබට රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් දකින්න අහන්න ලැබෙන්නේ වාණිජ බැංකු, සංවර්ධන බැංකු, ෆිනෑන්ස් සමාගම් වැනි ආයතනවල දැන්වීම්. නමුත් කිසිම අධීක්ෂනයකට යටත් නොවන, රජයේ වගකිවයුතු කිසිවෙක් සොයා නොබලන බොහෝ ආයතන අද ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඒවා ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ රේඩාර් වලට අසු නොවෙනසේ යටින්. මේ අය තමන්ගේ සේවා ප්‍රචාරණය කරන්නේ Facebook, Twitter, Whatsapp, Viber, YouTube යනාදී මෙකී නොකී සමාජ මාධ්‍ය ඔස්සේ. නැතහොත්, ගමින් ගමට ගොස් කටින් කටට ලබාදෙන ප්‍රචාරණ තුලින්. මේ ආයතන වලට අහු වෙන්න එපා. කොපමණ ආකර්ෂණීය පොළී ප්‍රතිශතයක් ලබා දුන්නත් මේවායේ ඔබේ මුදල් දමන්න එපා.
යමක් විශ්වාස කරන්නට නොහැකි තරමේ හොඳ දෙයක් සේ පෙනේනම්, එය විශ්වාස නොකරන්න.
අද අපි කතා කලේ ස්ථාවර තැන්පතුවක් දැමීමේදී සළකා බැලිය යුතු වැදගත්ම කරුණ වන සුදුසු ආයතනයක් තෝරා ගන්නා ආකාරය පිළිබඳවයි. අනාගත ලිපිවලින් පහත දැක්වෙන කරුණු සහ වෙනත් කරුණු ගැනත් කතා කරනවා.
- ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොළී ප්‍රතිශතය
- ස්ථාවර තැන්පතුව දමන්නේ කොපමණ කාලයක් සඳහාද යන්න
- ස්ථාවර තැන්පතුවෙන් ලැබෙන පොලිය ලබාගත යුතු වන්නේ කෙසේද යන්න
- එය නැවතත් අලුත් වෙන සේ ආයෝජනය කිරීමට අවශ්‍යද යන්න
- ඔබගේ ස්ථාවර තැන්පතුවේ ඇරඹුම් මුදල කොපමණද යන්න
ස්ථාවර තැන්පතු ගැන ඔබේ ප්‍රශ්ණ මෙම බ්ලොග් එකෙන් හෝ දියුණුව YouTube චැනල Facebook පිටුවෙන් අප වෙත යොමු කරන්න.
ලිපි පෙළ ඉදිරිපත් කිරීම: නිලූකා දිසානායක
නිලූකා දිසානායක විසින් ඉදිරිපත් කරන පුද්ගලික මුදල් පාලන වීඩියෝ නරඹන්නට දියුණුව YouTube චැනලයට පිවිසෙන්න. ඒ සඳහා අදම Subscribe කරන්න. එවිට අලුත් වීඩියෝ ගැන තොරතුරු ඔබටත් ලැබේවි.
දියුණුව සාර්තකත්ව Facebook කණ්ඩායමටත් එක්වීමට අප ඔබට ආරාධනා කරනවා.