
ඉංග්‍රීසි ඉගෙනීමට වචනවල තේරුම් දැනගැනීම වැදගත්. මෙහි දැක්වෙන මහේෂි ඕපාතගේ වීඩියෝවේ අරමුණ ඔබට ඔබේ වදන්කෝෂය (vocabulary) වචන 3,000න් ඉහලට ගෙනයාමට ක්‍රමයක් කියාදීමයි.
ඉන්පසුව එන්නේ spelling නැතිනම් වචන ලියන අයුරු. මීළඟට pronunciation නැතහොත් උච්චාරණය.
ඔබ පුංචි ළමුන්ගේ (උදාහරණ ලෙස 5,6 ශ්‍රේණි) පෙළපොත් බැලුවොත්, නව නිර්දේශය යටතේ අලුත් වචන බොහොමයක් උගන්වනවා. ඉංග්‍රීසි ඉගෙනීමට තද කැක්කුමක් තියන අයට ඒවායිනුත් ඉගෙන ගන්න පුළුවන්. කජු කනවා වගේ තේරේවි. ගිහින් බලන්න. ලැජ්ජා වීමට හේතුවක් නැහැ.
සිංහල භාෂාව පවා මුලින් කතා කරන බසින් ලියන්න උගන්වා අනතුරුවයි grammar නොහොත් ව්‍යාකරණ අනුකුලව උගන්වන්නේ. ලජ්ජා වීමට හේතුවක් නෑ කීවේ මම තවමත් පුතාගේ (6 ශ්‍රේණිය) පොත් වලින් එයත් එක්ක අලුත් දේ ඉගෙන ගන්න නිසා. අපට ඉගැන්නුවට වඩා සවිස්තරයි අලුත් පොත්. වර්තමානයේ මගේ අරමුණ දෙමළ බස ප්‍රගුණ කිරීම. පස්වන ශ්‍රේණිය දක්වා කරගෙන ආවත් හයේ දී (මේ වසරේ) කාර්යබහුල වීම නිසා එය අතරමග නැවතුණා. නමුත් (online) වාර විභාගයට සුදානම් වෙද්දී අල්ලගන්න හිතනවා.
ඉංග්‍රීසි ඉගෙනීමට පහසු තවත් ක්‍රම ප්‍රායෝගිකව යොදාගත් ආකාරය මීළඟට කියන්නම්. ඔබ කම්මැලි නැතිනම්, දිරිමත් වේ නම්, කාගෙන ඉගෙනගන්නට උවමනාවක් තිබේනම් මේ කොයි ක්‍රමත් ඔබට ප්‍රයෝජනවත් වේවි.
මහේෂි ඕපාතගේ මේ වීඩියෝව බලන්න. ඇගේ YouTube චැනලයේ ඉතිරි පාඩම් තියෙනවා.
ඉංග්‍රීසි දියුණු කරගන්න තවත් ක්‍රම
කලින් පොස්ට් එකක දැමු ඔබ කොපමණ ඉංග්‍රීසි වචන දන්නවාද? ඔබ දන්නා වදන් ප්‍රමාණය (vocabulary) මැන බලන්න මෙන්න ක්‍රමයක්. තමන් දන්නා ඉංග්‍රීසි වචන කීයද සොයන ටෙස්ට් එකෙන් මට 19,600ක් ආවා. ඉතින් ඉහත වීඩියෝවේ මහේෂි ඕපාත කියන විදියට ඒ කියන්නේ Native level එහෙම නැතිනම් මවුබස මට්ටමට ඇවිත්.
නමුත් මහේෂි වගේ මම ජාත්‍යන්තර පාසලකට ගියේ නෑ. ඔබ බොහෝ දෙනෙක් වගේ මම ගියේ රජයේ පාසල්වලට. මුලින්ම හලාවත ශාන්ත මරියා කන්‍යාරාමයට. ඊළඟට 5 වසර තෙක් ගල්කිස්සේ උසස් බාලිකා විද්‍යාලයට. ශිෂ්‍යත්වයෙන් පසු කොළඹ විශාකා විද්‍යාලයට ගියා.
මගේ දෙමාපියන් හොඳින් ඉංග්‍රීසි දැනගෙනත් ගෙදරත් එතරම් ඉංග්‍රීසි කතාකළේ නැහැ. මගේ අම්ම භාෂා පරිවර්තක තනතුරක් දැරුවා රජයේ ආයතනයක. මගේ පියා ඒ කාලේ කථිකාචාර්යවරයෙක්. අම්මට ඕන වුනත් අපේ ගෙදර සිංහල මිසක් ඉංග්‍රීසියෙන් කතා කළේ නෑ. ඔබ බොහෝ දෙනෙක්ගේ ගෙවල්වල වගේ තමයි.
කියවීමෙන් ඉංග්‍රීසි දියුණු කරගත හැකියි.
මගේ බොහෝ උගත්, සාමාන්‍ය ගැමි පවුලකින් ආ මිත්‍රයෙක් කියන විදියට ඔහුගේ නැන්දනියක් ඔහුට අසභ්‍ය පොතක් දී තිබෙනවා. “සමහර වචන තේරුනෙත් නෑ. නමුත් වාක්‍යයේ අනික් වචන වලින් අල්ලගන්න පුළුවන් තේරුම. මං ඩික්ෂනරිය ළඟ තියන් මේ පොත කොහොම හරි කියෙව්වා,” කියා ඔහු මට කීවා. “මගේ නැන්ද හරිම කට්ටයි. ඇ යට ඕනා වුණේ මා ඉංග්‍රීසියෙන් කියවීමට යොමු කිරීමටයි. වැඩේ හරිගියා.”
මම 5 වසර වන විටත් බොහෝ කියවීමට යොමු වී තිබුණා. ලොකු පොත් කියෙව්වා. ඉංග්‍රීසි පොත් කියවන්න යොමු වුනේ 6 වසරේදී මගේ මිතුරියක වන වරුනි ලබාදුන් The Best Teddy Bear in the World නම් පොත කියවීමෙන්.
ඉන්පසු බොහෝ පොත් කියෙව්වා. දවසට පොත් කිහිපයක් කියෙව්වා, හැමදාම වගේ. මා 8 වෙනි ශ්‍රේණියේ ඉන්නකොට අපේ ගෙදරට රුපවාහිනියක් ගත්ත. ඉතින් වැඩසටහන් පටන්ගන්න පස්වරු 6 සිතේ අවසන්වන තෙක් ඒකාලේ TV බැලුව. මගේ පියාගේ ඔවදන වුනේ, ඕනෑතරම් TV බැලුවට, පොත් කියෙව්වට කමක් නෑ හොදින් ඉගෙනගන්න කියා.
මම මේ තුනම කළා. මේ කාලේ වෙනකොට කියෙව්වේ ලොකු පොත් නිසා දවසකට එකකට වඩා කියවන්න බැරි වුණා. සාමාන්‍ය පෙළ කරන්න යනකොටත් මට මේ දෙකටම කල් තිබුන මා කිසිම විෂයයකට ටියුෂන් නොගිය නිසා. මම ඉගෙනගත්තේ විභාග පාස් වෙන්න නොව දැනුමට ලෝභයෙන් නිසා කිසිවක් අත්නොහැර හැමදේම ඉගෙනගත්ත. තවමත් ඒ දේවල් බොහොමයක් මතකයි.
රුපවාහිනී නැරඹීමෙන් සහ ගුවන් විදුලියට සවන් දීමෙන්
මගේ ඉංග්‍රීසි දැනුම දියුණු වුණේ TV බැලීමෙන් සහ පොත් කියවීමෙන්. මා සාමාන්‍යපෙළ ප්‍රතිපල බලාපොරොත්තු වෙමින් සිටි කාලයේ දිනපතා ඉංග්‍රීසි ශබ්දකෝෂය කියෙව්වා. තැනින් තැනින් අරගෙන වචන 10ක් විතර ලියාගෙන ඉගෙනගත්ත. ගේ වටේ යමින් ඒවායින් වාක්‍ය හදලා කිවුවා. කියපු පිස්සු වාක්‍යවලට අම්ම හිනාවුණා. ගෙදර නැවතී සිටි නෙලුම්ද හිනාවුණා. කොහොම නමුත් මගේ ඉංග්‍රීසි දැනුම මේ කැපවීමෙන් වැඩිවුණා.
වරද්ද වරද්දා හෝ කවුරුන් සමග හෝ ඉංග්‍රීසියෙන් කතා කරන්න
කෙසේ වෙතත් මා පාසලේ ඉංග්‍රීසිවලට දක්ෂ වුනත්, හොඳින් කතා කරන්න පුරුදුව සිටියේ නෑ. විශාඛාවේ වුනත් කඩුවට යම් ප්‍රතිරෝදයක් තිබුණා. එනිසා, මගේ මිතුරිය සුජීවා සමග උසස්පෙළ ටියුෂන් යන අතරමග සහ බසයේදී කතාකලා.
මෙහෙම තමයි ඉංග්‍රීසි දැනුම දියුණු කරගත්තේ. ඉතින් විද්‍යාවෙන් උසස්පෙළ අවසන් කර ඉක්මනින්ම CIMA කරන්න ගත්තේ විශ්වවිද්‍යාල බොහෝ කාලයක් ඔස්සේ වසා තිබුන නිසා ඇතුල් වෙන්න කල්යන නිසා. සෑහෙන්න පොත් කියවා, TV නරඹා ලබාගත් ඉංග්‍රීසි දැනුම මෙහිදී ප්‍රයෝජනවත් වුණා.
දිනපතා වචන 100ක රචනාවක්
මගේ පියා, නිහාල් දිසානායක, ලියන්නට කැමති කෙනෙක්. ඇත්තටම මගේ පවුලම එහෙම වගේ අම්මගේ පැත්තෙන්. අම්මගේ අම්ම කිවිඳියක්, පියත් ඉංග්‍රීසි භාෂා විශිෂ්ටයෙක්. නමුත් මගේ තාත්තා තනියම ඉගෙනගෙන ස්වෝත්සාහයෙන් දියුණු වුණ ගැමි පවුලක පුතෙක්.
මගේ පියාට පශ්චාත් උපාධියක් සඳහා ප්‍රංශයේ ශිෂ්‍යත්වයක් ලැබුණා. එහි යන විට ඔහු ප්‍රංශ භාෂාව දැනගෙන හිටියේ නෑ . දිනපතා නොකඩවාම ළඟ තිබු උද්‍යානයකට ගිහින් ඔහු කළේ වචන 100ක රචනාවක් ලියන එකයි.
එකත් පහසු නෑ. නොදන්නා භාෂාවකින් “කළු බල්ලා තමන්ගේ නැට්ට පසුපස එලවමින් වටේට කැරකෙනවා” කියන එක ලෙහෙසි පහසු දෙයක් නොවේ.
මට ලිවීම ගැන ඉගැන්නුවේ මගේ පියා. යමක් ගැන ලියන්න හිතනකොට ඒ ගැන පන්චේන්ද්රියෙන්ම දැනෙන දේ ලියන්න, ඒ විදියට හිතන්න ඉගැන්නුවා. ඔහු ඒ වන විටත් පොත් ලියන්න පටන් අරන්. නමුත් පවුලේ ආර්ථිකය සරු කරන්නට ඔහු රැකියා වෙනුවෙන් කැප වුණා. ඔහු ඔහුගේ කතුවරයෙක් වීමේ සිහිනය සැබෑ කරගෙත්තේ විශ්‍රාම ගැනීමෙන් අනතුරුවයි.
ඔහු ඇරඹු අත්වැල ව්‍යාපාරික සඟරාව නිසා මම ලේඛන කලාවට යොමු වුණා. අත්වැලේ ලියන අතරේ මා සතු ඉංග්‍රීසි ලිවීමේ හැකියාව අඩුවේයැයි බියෙන් පුවත්පත්වල තීරු ලිපි ලියන්නට යොමුවුණා. 1999-2004 වකවානුවේ භාෂා දෙකෙන්ම තීරු ලිපි ලියුවන් අතර මා දන්නේ දෙදෙනායි. ප්‍රවීණ මාධ්‍යවේදී ලුෂන් රාජකරුණානායක එක්කෙනෙක්. අනෙකා මම. (තවත් සිටින්න ඇති මා නොදැන).
වර්තමානයේ මගේ ආදායමෙන් වැඩි කොටසක් එන්නේ දේශීය විදේශීය සේවාදායකයින් වෙනුවෙන් පොත්, ලිපි, වාර්තා වැනි දේ ලිවීමෙන්. නැතිනම් සමාජ මාධ්‍ය සඳහා ලිවීමෙන්.
මාස 6ක් අවසානේ වදන් 3,600ක් ඉගෙන ගන්න
ආරම්භක මටටමේ ඉංග්‍රීසි දන්නා කෙනෙක් භාවිතා කරන්නේ 1,000 සිට 3,000ක් දක්වා වදන් ගණනක්. දවසට වචන 20ක් ඉගෙනගෙන මාස 6ක් අවසානේ ඉගෙනගත්තොත් එයින් වදන් 3,600ක් ඉගෙන ගන්න පුළුවන්. අඩුම ගණනේ දවසට වචන 10ක් ඉගෙනගත්තොත් මෙතනට එන්න ගත වෙන්නේ වසරක් පමණයි.
අධිෂ්ටානය වැදගත්
හැමදාම කොහොම හරි මෙයට කාලය සොයාගන්න.
- නරඹන විට ඉංග්‍රීසි චිත්‍රපට නරඹන්න.
- තමන් කැමති විදියේ මාතෘකා තිබෙන ඉංග්‍රීසි බ්ලොග් එකක්, නැතිනම් හොඳින් ලියු (කැඩුන ඉංග්‍රීසි නොමැති) කෙටිකථා කියවන්න.
- දිනපතා අලුතින් ඉගෙනගන්න වචන යොදා වාක්‍ය 20ක් ලියන්න.
ඉංග්‍රීසි දියුණු කරගන්න තවත් ක්‍රම ගැන ඉදිරියට සොයාබලමු.
මේ ලිපිය අනෙක් අය සමග බෙදාගන්න.
ඔබේ අදහස් ම සමග කියන්න. ඔබට ජය!
Leave a Reply