
අපි හැමෝටම පසුතැවිලි වෙන්න හේතු තිබෙනවා. පාසල් දිවියේදී කඩිසරව උනන්දුවෙන් ඉගෙනීමට යොමු නොවීම ගැන. ජීවිත ගමනේ, රැකියා දිවියේ ලද අවස්ථා වලින් ප්‍රයෝජන නොගැනීම ගැන. එදිනෙදා දිවියේ නොසිතා, නොබලා කල කියූ දේවල් ගැන.
පසුතැවීම සාමාන්‍ය දෙයක්. ඇත්තටම මේ හැඟීම් තදකරගෙන සඟවා ගෙන බෝතල් කරගෙන සිටිනවාට වඩා ඒවා පිළිගෙන, කළ වරදට මුහුණදී වුනදේ ගැන සිත හදාගැනීම වැදගත්.
මෙහි පළමු පියවර ඔබේ පසුතැවිලිජනක හැඟීම් පළ කිරීමයි. එයින් අවාසියක් වූ කෙනාට කියන්නත් පුළුවනි. නැතිනම් තමාම ඒ ගැන හිතන්න පුළුවනි. ඒ ගැන යමක් ලියන්න හැකිනම් ඔබේ හිතේ බර අඩු කරගන්නට හැකි වේවි.
ඔබේ පසුතැවිල්ලට මුල් වුනේ කුමක්ද? මේ ගැන සිතා බැලීම මේ කනස්සල්ලෙන් මිදී ඉදිරියට යන්නට ඔබට උපකාර වේවි.
දෙවැනි පියවර වන්නේ අතීතය දෙස කෘතඥ මනසකින් යුතුව බැලීමයි. ඔබට කෘතඥ වීමට හැකි දේ මොනවද? මනස්තාපයෙන් පෙළෙන විට අපට අපගේ දිවියේ ඇති වටිනා දේ, අප විසින් කෘතඥ විය යුතු දේ සහ අපට ඇති විවිධාකාරයේ ආශිර්වාදයන් අමතක වීම සාමාන්‍යයි. නමුත් හිත කරදර වූ විටෙක මේ ගැන සිහි කිරීම මනසට සහනයක්.
අපගේ ජීවිතය ගැන කෘතඥතාවය ධනාත්මක මනෝවිද්‍යා මුලධර්ම අනුව සතුටින් ජීවත් වීමට පහසු මගක් හදා දෙනවා. එබැවින් ඔබේ පසුතැවිලි වලට මුහුණදීමේදී කෘතඥ වීම ගැනත් උනන්දු වන්න.
ඔබට ඔබේ වර්තමානය ගැන කෘතඥ වීමට හැකි කරුණු තුනක් සොයාගන්න.
මේ විදියට ඔබේ ජීවිතේ ගැන සිතීමෙන්ම ඔබ පෙළන පසුතැවිලි වලින් යම් සහනයක් ලැබේවි.
දැන් සමහරු කියාවි, “අයියෝ, මගේ දිවියේ මොනවද කෘතඥ වෙන්න තියෙන්නේ” කියල.
ඔබ පණපිටින්. ඔබට මේ ලිපිය කියවන්නට යම් ක්‍රමයක් තියෙනවා. එහෙමනම්, එදිනෙදා ඉන්න හිටින්න තැනකුත් සෙවනකුත් ඇති, සැප විහරණ කෙසේ වෙතත්. ඔබට මෙය කියවන්න හැකිවීමම කෘතඥ වීමට හේතුවක්.
මේ විදියට හිතන්න. ඔබට ආදරය කරන්න, ඔබේ සැපදුක ගැන සිතන්න, ඔබ කරන හොඳ දේට ආශිර්වාද කරන්න අය සිටිනවා ඇති. බොහෝ දෙනෙකුට, අතේ මුදල් නැති වුණාම, කරදරයක් ආවාම, මිලට නොගතහැකි වටිනා දේ ජීවිතේ තියෙන බවත් අමතක වෙනවා. ඔබ මේ උවදුරු කාලේ නිරෝගීව, නිරුපද්‍රිතව සිටීමත් ආශිවාදයක් නොවේද?
මේ විදියට සිතා ඔබේ මානසික ක්‍රියාවලිය පසුතැවීම් වලින් ඉවතට යොමුකර, නිවැරදි රාමුවකට දමාගන්න. ඔබට නැති දේ ගැන පමණක් නොසිතා, තිබෙන දේ ගැනත් මෙනෙහි කරන්න.
අවසන් පියවර වන්නේ අනාගතයේ පසුතැවිලි වන්නට මග නොපෑදෙන ආකාරයට හැසිරෙන්නට ඔබට කළහැක්කේ කුමක්දැයි පැහැදිලි කරගන්න.
සමහර විට, ඔබේ පසුතැවිල්ලට මුල්වූ දේ ඔබගේ පාලනයෙන් බැහැර වුවක් වියහැකිය.
උදාහරණයක් ලෙස, ඔබ අතින් සිදුවූ රිය අනතුරක් හෝ නොවැලැක්විය හැකි විදියෙන් සිදුවූ අත්වැරැද්දක් ගතහැකියි. මා තුන්වැනි ශ්‍රේණියේ ප්‍රදර්ශනයක් සඳහා එම්බ්‍රොයිඩර් කල කුෂන් කවරයක් එදින උදේ වැඩි හොඳට ඉස්තිරික්ක (අයන්) කරන්නට ගිහින් මගේ පියා අතින් සියුම් රෙද්ද පිළිස්සී ගියා.
ඔහු තුළ එදා කොපමණ පසුතැවිල්ලක් ඇතිවන්නට ඇතිදැයි මට හිතාගන්නටවත් බැහැ. මගේ කඳුලින් එම පසුතැවිල්ල තවත් වැඩෙන්නට ඇති. නමුත් එයේ ඔහු සිතාමතා කළ දෙයක් නොවේ. එවැනි විටක සමාව ඉල්ලීම සහ හිත හදාගැනීම ඇර වෙන කුමක් කරන්නද?
අනෙක් අතින්, ඔබේ පසුතැවිල්ල එතරම් නොසිතා කියූ නපුරු වදනක් විය හැකියි. නැතිනම් තරහින් කල යමක් විය හැකියි. එමගින් ඔබේ ආදරණීය කාගේ හෝ හිත බිඳෙන්න ඇති. මෙවැනි දේ ගැන සමාව ඉල්ලීමට අමතරව, එවැනි වරදක් නැවත නොවන්නට ඔබ කලයුතු මොනවද? ඒ ගැනත් සිතා බලන්න.
උදාහරණයක් ලෙස, ක්ෂණික කෝපය මෙන්ම සුළු ලෙස හෝ තරහා යෑම වළක්වාගන්න ඔබට හැකිද? තරහා ගියත්, එය විඳගෙන, මගහැරවාගන්නට ක්‍රම තිබෙනවා. තරහ වෙලාවට ඒ තුළින් කිසිවක් කිරීමෙන් හෝ කිවීමෙන් වැළකීමට හැකිනම් බොහෝ දෙනෙකුට ජීවිතේ බොහෝ පසුතැවීම් මගහැරගත හැකි වේවි.
පසුතැවිලි හැගීම් ගැන මෙසේ සිතාබැලීම වැදගත් වන්නේ අනාගතයේ එවැනි අවස්ථා වලක්වගන්නට හැකි වන නිසයි.
අප අතින් සිදුවන ඕනෑම වැරද්දක් හෝ අප අසාර්ථක වූ අවස්ථාවක් දෙස ආපසු බැලිය යුත්තේ පසුතැවීමට නොව එමගින් උගතහැකි පාඩම් මොනවාදැයි හඳුනාගැනීමටයි.
මේ ගැන ඔබේ අදහස් අපට කියන්න.
වසුන්දරා ස්වෝනි ලියු “It’s Time to Make Peace with Your Regrets,” කෘතිය සහ ඒ පිළිබඳව Harvard Business Review වෙබ් අඩෙවියේ පළවූ ලිපියක් ඇසුරින් සකස් කළේ නිලුකා දිසානායක.
ඡයාරුපය Meruyert Gonullu via Pexels
Leave a Reply