සුළු ව්‍යාපාරයක් සංවර්ධනය කිරීමේ කාර්යය

නිහාල් දිසානායක, BA (Econ), MBA

ශ්‍රී ලාංකික සුළු ව්‍යාපාරිකයන් දැනුවත් කිරීම සඳහා 1998 වසරේ දියත් කළ අත්වැල ව්‍යාපාරික සඟරාවේ නිර්මාතෘ සංස්කාරක නිහාල් දිසානායක විසින් ලියන ලද ලිපියකි මේ.


සුළු පරිමාණ ව්‍යවසායකයින් හට තම ව්‍යාපාරික කටයුතු විද්‍යානුකූලව සංවර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම හා අවබෝධය ලබාදීම මෙම ලිපියේ අරමුණයි.

සුළු ව්‍යාපාර සංවර්ධනය කිරීමේ උපාය ධර්ම පිළිබඳව අත්වැල ව්‍යාපාරික සඟරාවේ පසුගිය කලාපවලින් ඔබ වෙත සපයන ලද ලිපිවලට අමතරව සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් ප්‍රතිපාදනය කිරීම ගැන කෙටියෙන් විස්තරයක් කිරීම මෙම ලිපියේ අරමුණයි.

සුළු ව්‍යාපාරිකයෙකු තම ව්‍යාපාරය සංවර්ධනය කිරීමේ දී බොහෝ විට එහි ස්වභාවය වෙනස් වේ. එය මහා පරිමාණයේ ව්‍යාපාර නොවූවද සුළු ව්‍යාපාර මට්ටම් සීමාවේ වැට පැන දියුණුව කරා පා තැබූ අවස්ථා අප දැක ඇත.

සුළු ව්‍යාපාරයක් සංවර්ධනය කිරීමේ පළමුවන අදියර අවසානයේ දී එය මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස සැලකිය නොහැක. එය තවදුරටත් සුළු ව්‍යාපාරික තත්ත්වයෙහිම ලා සැලකීම වඩාත් ඥාණාන්විත බව අපගේ විශ්වාසයයි. සංවර්ධන කාර්යය ගැන හිත යොමු කරන ව්‍යාපාර හිමියා තම සංවර්ධන ව්‍යාපෘතිය ගැන ඉතා ප්‍රවේශමෙන් සලකා බලා එහි ප්‍රමාණය තීරණය කරගත යුතුය.

සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රමාණය තීරණය කිරීම

සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රමාණය තීරණය කිරීමේ දී සැලකිය යුතු කරුණු දෙකකි.

එයින් ප්‍රධාන ස්ථානය හිමි වන්නේ තමාට ඇති හෝ තමාහට නිශ්චිත වශයෙන් යොදාගත හැකි සම්පත් ප්‍රමාණයටය. නව ව්‍යාපෘතිය සකස් කර ගැනීම බොහෝ විට දුෂ්කර වන්නේ සෑම සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ම අවම ආර්ථික මට්ටමක් ඇති නිසාත් ඒ සඳහා අවශ්‍ය සම්පත් සපයා ගැනීමේ දුෂ්කරතාවයන් නිසාත්ය. එසේ නැතහොත් ව්‍යාපෘතියක් ලාභදායිත්වය අවශ්‍ය ප්‍රමාණයට ලඟාකර ගැනීම සඳහා අවශ්‍ය අවම සම්පත් ප්‍රමාණයද  සලසා ගැනීමේ මාර්ග පිළිබඳ ඇති දැනුමේ අඩුව නිසාය. එමගින් ව්‍යාපෘතියෙන් උපරිම ප්‍රයෝජනයක් ලබාගැනීමට ව්‍යාපාරයට අවස්ථාවක් පෑදෙනු ඇත.

බොහෝ දෙනෙකුගේ අදහස නම් නැති මුදල් ගැන සැලසුම් කරනු වෙනුවට අතේ ඇති හෝ පහසුවෙන් නිශ්චිත වශයෙන් ලබාගත හැකි මුදල් ප්‍රමාණයට ඉතා කුඩා ව්‍යාපෘතියක් තෝරා ගැනීමය. එය කුඩා ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කර වඩා විශාල ව්‍යාපෘතියක් වශයෙන් දියුණු කළ හැකිය. නමුත් තාක්ෂණික පැත්තෙන් බලන විට සෑම ව්‍යාපෘතියකම අවම මට්ටම තීරණය වන්නේ තමා භාවිතා කිරීමට බලාපොරොත්තු වන තාක්ෂණික මට්ටම මතය.

සුළු ව්‍යාපාරිකයෙකු හට දැනට පවතින ඉතාම උසස් තාක්ෂණික දැනුම සහ උපකරණ භාවිතා කිරීමෙන් ලබාගත හැකි වාසි ඉතා විශාල වුවත් උසස් තාක්ෂණික දැනුමක් ලබා ගැනීම සඳහා දැරිය යුතු වියදම ඉතා විශාල විය හැකි නිසා ඒ ගැන ඉතා ප්‍රවේශම් විය යුතුයි. තවද විශාල මුදල් ප්‍රමාණයක් යොදා ලබා ගන්නා නව දැනුම සහ උපකරණ යොදවා නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල තම තරගකරුවන්ගේ මිල මට්ටම්වලට වඩා බොහෝ අවස්ථාවලදී වැඩි විය හැකිය. පාරිභෝගිකයන්ට එය තේරුම්ගැනීමට දුෂ්කර වුවහොත් නව ව්‍යාපෘතියෙහි සාර්ථකත්වය සැක සහිත විය හැකිය.

කෙසේ වෙතත් උසස්ම තාක්ෂණය ගැන සොයා බැලීම කළ යුතු දෙයකි. මේ ගැන නොසළකා හරින බොහෝ දෙනෙක් ව්‍යාපෘතිය අතේ ඇති මුදල් වලට සීමා කරති. තවත් සමහරෙක් වෙනත් මාර්ගවලින් සම්පත් සොයා ගැනීමට සැලසුම් කරති. සංවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේදී දැනගත යුතු කරුණක් නම් කුඩා ව්‍යාපාරයක් වෙනුවට වඩා විශාල ව්‍යාපෘති සඳහා මූල්‍ය ආයතන සහ බැංකු වලින් පහසුකම් ලබා ගැනීම පහසු බවයි. මේ නිසා තම නව ව්‍යාපෘතියේ මට්ටම ඉතා ප්‍රවේශමෙන් සැලසුම් කළ යුතුය.

වර්තමාන ලාංකික මූල්‍ය වෙළෙඳපොළ දෙස බලන විට ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන නොයෙකුත් මාදිලියේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහොමයක් දැකීමට පුළුවන. වාණිජ බැංකුවලට අමතරව ආයෝජන බැංකු, මර්චන්ට් බැංකු කොටස් වෙළඳපොළ, වෙන්චර් කැපිටල් සමාගම් සහ ලීසිං සමාගම් ද මේ අතර වෙයි. ණයකර සඳහා මුදල් යෙදවීමට කැමති මූල්‍ය සේවා සමාගම් නිසාද, ව්‍යාපෘතියේ ප්‍රමාණය විශාල වුවද ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීම වැඩි දුෂ්කර තත්ත්වයක් නොවනු ඇත.

තවද තමා අත ඇති සම්පත් ප්‍රමාණය තමා බලාපොරොත්තු වන සංවර්ධන ව්‍යාපෘතිය සාක්ෂාත් කර කරගැනීම දුෂ්කර නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධන ප්‍රතිපාදනය කර ගැනීමට ඉහත සඳහන් කරන ලද ආයතන එකක් හෝ කිහිපයක් හෝ උපයෝගී කරගැනීම දුෂ්කර කාර්යයක් නොවේ.

අවශ්‍ය සම්පත්

සංවර්ධන ව්‍යාපෘතියට අවශ්‍ය සම්පත් ඉතා ප්‍රවේශමෙන් තෝරා ගත යුතුය. එසේ කළ යුත්තේ ව්‍යාපෘතියට අවශ්‍ය සෑම වත්කමක්  සඳහා ම සාධාරණ ආයු කාලයක් බොහෝ විට නිශ්චිත කරන බැවිනි. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වත්කම් තෝරාගෙන ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා එම වත්කමේ ආයු කාලයට සමාන හෝ ඊට වැඩි කාලයක් සඳහා ප්‍රාග්ධන සම්පාදනය කර ගැනීම වඩාත් සුදුසුය.

වසරකින් ගෙවීමට පොරොන්දු වූ ණයක් මත වසර පහක් භාවිතා කළ හැකි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී ව්‍යාපාරයට මුහුණදීමට සිදුවන ප්‍රධාන ප්‍රශ්නය නම් එම ණය ගෙවීමට අවශ්‍ය මුදල් එම වත්කම භාවිතා කිරීමෙන්ම උපයාගැනීමට නොහැකි වීමයි. වත්කමක් මිලදී ගැනීමට වැයවන මුදල විශාල වීමත් සමග එය ගෙවීම සඳහා අවශ්‍ය කාලයද වැඩි විය යුතුය.

ණය ලබාගැනීම පිළිබඳ තම නිවැරදි ක්‍රමය ලෙස වර්තමාන ව්‍යාපාර ලෝකයේ බොහෝ දෙනෙක් අනුගමනය කරන්නේ දිගුකාලීන වත්කම් ලබාගැනීම සඳහා දිගුකාලීන ණය මුදල් යොදාගැනීමය. දිගු කාලීන වත්කම් ගණයට වැටෙන සමහර වත්කම් නම් ඉඩකඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, කාර්යාලය භාණ්ඩ සහ මෝටර් රථ වාහන වේ.

මෙවැනි වත්කම් ලබා ගැනීම සඳහා කොටස් ප්‍රාග්ධනය  සහ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධනය යෙදවීම වඩා සතුටුදායක ක්‍රමයක් ලෙස සැලකේ. එසේ නොමැති නම් ඒ සඳහා දිගු කාලීන ණය මුදල ලබාගැනීමට සැලසුම් කළ යුතුය.

කෙටි කාලීන වත්කම්  ගණයට වැටෙනුයේ අමුද්‍රව්‍ය, අලෙවිය සඳහා ඇති භාණ්ඩ හා නිෂ්පාදනය කොට ඒවා විකුණා මුදල් ලබාගැනීමට හැකි දිනය තෙක් අවශ්‍ය මුදල් ප්‍රමාණයත්‍ය. ණයට භාණ්ඩ විකුණන ආයතනයක ණයගැතියන් මේ ගණයට ඇතුලත්වේ. එයට අමතරව ව්‍යාපාරයක වැටුප් සහ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය මුදල්ද කාරක ප්‍රාග්ධනය වශයෙන් හඳුන්වයි. ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කිරීමේදී කෙටි කාලීන ප්‍රග්ධන අවශ්‍යතා වාණිජ බැංකු මගින් ලබාගැනීමෙන් අත්කරගත හැකි වාසි බොහෝය.

මේ අනුව බලන විට තම සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය වන මුදල් ඉහත සඳහන් කරන ආකාරයට බෙදාගත හැකිය.

විවිධ කාර්යයන් සඳහා අවශ්‍ය මුදල් බැංකු හා විශේෂඥ ආයතනවලින් ගැනීම සාම්ප්‍රදායික මාර්ග වශයෙන් හැඳින්වේ. මෙහිදී ව්‍යාපාරිකයාට මුහුණ දීමට සිදුවන එක ප්‍රශ්නයක් නම් තමාට අවශ්‍ය සියලුම මුදල් පැකේජයක් වශයෙන් පිළියෙල කර සම්පත් මහා පරිමාණ වශයෙන් සංවර්ධන සහ ආයෝජන බැංකු වලින් ලබාගන්නේද නැතහොත් එහි පහසුකම් ලබාගැනීම විශේෂඥ ආයතන වලින් ලබා ගත යුතුද යන්න තීරණය කිරීමය.

ජාතික සංවර්ධන බැංකුව, ඩී. එෆ්. සී. සී බැංකුව, ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සහ වණික් ආයතන වැනි විශාල ආයතන බොහොමයක් ම සුළු ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතාවයන් සියල්ලම සුපරික්ෂාකාරීව විශ්ලේෂණය කර කොටස් අරමුදල්, ලීසිං පහසුකම් සහ දිගුකාලීන ණය අරමුදල් යනාදී ක්‍රමවලින් සපයනු ලැබේ. එයට අමතරව ලීසිං සමාගම් වලින් සමාගම්වලින් ලීසිං පදනම මත මෝටර් රථ සහ පරිගණක යන්ත්‍ර වැනි දිගුකාලීන වත්කම් සඳහා අවශ්‍ය මුදල් පහසුවෙන් ලබාගත හැකිය. බොහෝ විට කෙටිකාලීන පහසුකම් ලබාගැනීම සඳහා වාණිජ බැංකු මගින් ආධාර ලබාගැනීමට පුළුවන.

ඉහත සඳහන් කළේ සාමාන්‍යයෙන් ව්‍යාපෘති සඳහා අවශ්‍ය සම්පත් ලබා ගැනීමට හැකි සම්ප්‍රදායික මාර්ගය.

උපාය ධර්මය සැලසුම් කිරීම

උපාය ධර්මානුකූලව සංවර්ධන කාර්යය දෙස බැලීමේදී ඉහත සඳහන් සම්ප්‍රදායානුකූල මාර්ගවලට අමතරව විවිධ ආකාරයේ විකල්ප මාර්ග සොයා ගත හැකිය. එක් එක් ව්‍යාපාරයේ ජීවන චක්‍රය, දුර්වලතා සහ ශක්තීන් අනුව ඒ ඒ ව්‍යාපාරයේ ප්‍රාග්ධන අවශ්‍යතා සලසා ගත යුතුය. බොහෝ ව්‍යාපාර තම සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් කෙටිකාලීන සැපයුම්කරුවන් සමග නොයෙක් ආකාරයේ ගිවිසුම් අත්සන් කිරීමෙන්ද බෙදාහැරීමේ ආයතන මගින්ද භාණ්ඩ මිලදී ගන්නා ආයතන වලින් අත්තිකාරම් වශයෙන්ද සපයා ගැනීමට උත්සහ කරයි.

වීදුරු බෝතල් වැනි වැඩි වටිනාකමින් යුත් භාජනවල බීම වර්ග නිෂ්පාදනය කර ඒවා බෙදා හරින සමාගම් බෝතල් සඳහා අත්තිකාරම් මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නේ තම බෝතල් සඳහා වැය කළ යුතු පිරිවැය ඉතා විශාල බැවිනි. මුද්‍රණ කර්මාන්ත වැනි කර්මාන්ත තමාට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඇනවුම් දෙන ගනුදෙනුකරුවන්ගෙන් 50%ක් දක්වා වූ අත්තිකාරම් මුදල ලබා ගැනීම මෙයට තවත් නිදසුනක් වශයෙන් දැක්විය හැකිය.

නොයෙකුත් මාදිලියේ කෙටිකාලීන ක්‍රම මඟින් හෝ දිගු දිගුකාලීන ගිවිසුම් අත්සන් කරමින් කෙටිකාලීන මුදල් අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට ව්‍යාපාරිකයන්ට අවස්ථා සලසා ගත හැකිය.

ව්‍යාපාරයක් සංවර්ධනය කිරීමේ කිරීමේදී සම්පත් සොයා ගැනීමේ දුෂ්කර කාර්යයට මුහුණ දෙන ව්‍යාපාරිකයා සෑම විටම දැනට තමා සතු වත්කම් දෙස සැළකිල්ලෙන් බැලිය යුතුය. එම වත්කම් අතර වටිනාකමට නියම ආදායමක් නොලැබෙන වත්කමක් වේ නම් එයින් නියම ප්‍රයෝජන ගැනීමටද උත්සාහ කළ යුතුය.

නො විකිණී පරණ වී ඇති භාණ්ඩ, භාවිතා නොකරන උපකරණ සහ අඩුවෙන් භාවිතා කරන වත්කම් ගැන සිත යොමු විය යුතුය. රුපියල් ලක්ෂ පහක් වටිනා ඔබගේ වාහනය විකුණා ඒ වෙනුවට දිගුකාලීන පදනමක් මත වාහනයක් කුලියට ගැනීම හෝ කල්බදු (ලීසිං) පදනමක් මත අලුත් වාහනයක් අත් කර ගැනීමෙන් විශාල මුදල් ප්‍රමාණයක් සම්පාදනය කර ගැනීම ඉතා පහසුය.

ඔබ දැන් ව්‍යාපාරික කටයුතු කරන්නේ ඔබටම අයිති ගොඩනැගිල්ලක නම්, එය මුදල් කර, දිගු කාලීන පදනමක් මත එම ගොඩනැගිල්ලම කුලියට ගැනීමෙන්ද ඔබ ව්‍යාපාරයට අවශ්‍ය මුදල් සම්පාදනය කළ හැකි වේ.

මෙහිදී සැළකිල්ලට ගත යුතු වැදගත් අංශයක් වනුයේ තමා ආරම්භ කිරීමට බලාපොරොත්තු ව්‍යාපෘතියේ සාර්ථකත්වය සහ වත්කම්වල ස්වාධීනත්වය අහිමි වීම මගින් තමාට සහ තම පවුලට ඇතිවන වෙනත් ප්‍රශ්නයන්ය. කෙසේ වෙතත් විසි එක්වන සියවසට පා තබන ව්‍යාපාරිකයා තමාගේ සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේදී  සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට උපාය ධර්මානුකූල විකල්ප මාර්ග ගැන සිත යොමු කිරීම සාධාරණ බව අපගේ විශ්වාසයයි.

ව්‍යාපාර සංවර්ධනය සඳහා සම්පත් සම්පාදනය කිරීමේ තවත් උපාය ධර්මයකි. ඒ සම්බන්ධ ව්‍යාපාර සමඟ ගිවිසුම් ඇති කර ගැනීම සහ වෙනත් ව්‍යාපාර මිලදී ගැනීම ඔබ සැලසුම් කරන්නේ යම්කිසි ද්‍රව්‍යයක් නිෂ්පාදනය කර බෙදා හැරීමට නම්, බෙදාහැරීම ව්‍යාපාරික ක්‍රියාවලියේ ප්‍රධාන ප්‍රශ්නයක් බව ඔබට පෙනේනම් ඔබ තෝරාගත් වෙළෙඳපොළ ගැන මනා අවබෝධයක් ඇති හෝ සමාන ව්‍යාපාරයක් සම්පූර්ණයෙන්ම හෝ  කොටස්කරුවෙක් වශයෙන් එය සමව පාලන සම්බන්ධකමක් ඇති කර ගැනීමෙන් ඔබට සම්පත් ඉතිරි කර ගැනීමට සහ අනාගත කාර්යය සාර්ථක ලෙස ඉටු කර ගැනීමටත් හැකිවනු ඇත.

ඔබ ව්‍යාපාරයේ නීත්‍යානුකූල ස්වාමිත්වය වෙනස් කිරීමෙන් ද ඔබ හට සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සම්පත් සම්පාදනය කර ගැනීම පහසුය. ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචි කර ඇත්තේ ඒක පුද්ගල ව්‍යාපාරයක හෝ හවුලක් වශයෙන් නම් එයට තම හවුල්කරුවන් බඳවාගැනීම සලකා බැලිය යුතුය. තම හවුල්කරුවෙක් තෝරා ගැනීමේදී ඉතාමත්ම ප්‍රවේශම් විය යුතු අතර තම ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන හෝ නිමි ද්‍රව්‍ය අලෙවි කරන හෝ එම ව්‍යාපාරයට සම්බන්ධ වෙනත් සේවා සපයන ආයතනයක් හෝ පුද්ගලයකු ඒ සඳහා තෝරා ගැනීම වඩාත් ප්‍රයෝජනවත්ය.

නව සමාගම් ආඥා පනත යටතේ සිටින සමාගමක් වශයෙන් ඔබ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමෙන් ඔබ සංවර්ධන කාර්යය සඳහා අවශ්‍ය සම්පත් සපයා ගැනීම ඉතා පහසුය. මෙහිදී දැන ගත යුතු ප්‍රධාන කරුණ නම් ව්‍යාපාරයේ නිකුත් කරන ප්‍රාග්ධනයෙන් 50% වැඩි කොටස් ඇති අයට එහි පාලනය කිරීමේ බලතල ලැබෙන බවය. නව කොටස් කරුවන් බදවා ගැනීමේදී  සැලකිල්ලට ගත යුත්තේ හවුල්කරුවන් බඳවා ගැනීමේදී සඳහන් කරන ලද කරුණුමය. ඊට අමතරව පාලන බලයක් නොමැති වරණිය කොටස් නිකුත් කිරීමෙන් ව්‍යාපාරයේ පාලනය වර්තමාන පාලක පවුල්වලට සීමා කිරීමට ඇති හැකියාව ගැනද සැළකිල්ලක් දැක්විය හැකිය.

ව්‍යාපාරයක් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් මුදල් පමණක්ම නොවේ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ලබා ගැනීමටද  ඉහත සඳහන් කරන මූලධර්ම සැලකිල්ලට ගත හැකිය.

ඔබට නව ලිපි ගැන දැනුවත් වන්නට දියුණුව බ්ලොග් එක සඳහා ඊමේල් දායකත්වය ලබාගන්න. නැතිනම් දියුණුව YouTube චැනල Facebook  පිටුව LIKE කරන්න.

අත්වැල ව්‍යාපාරික සඟරාව - 1998-12 කලාපයෙන්

Images: Athwela
Photo by Daria Shevtsova from Pexels
Photo by Andrea Piacquadio from Pexels
Photos by Polina Zimmerman from Pexels

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: