උපාධියක් ලබාගැනීම ජීවිතයේ බොහෝ දෙනෙක්ට තියන ලොකුම හීනයක්. හොඳින් ඉගෙන ගෙන, උපාධියක් අරගෙන, ඉහළ පෙළේ රැකියාවක් කරලා සතුටින් ජීවත් වෙන්න බොහෝ දෙනෙක් කැමතියි. මේ මාර්ගය තුළ ඔබට නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙනවා වගේම, උපාධි සිහිනය සාර්ථක කර ගැනීමට දිවා රෑ නොබලා විශාල වෙහෙසක් දැරීමට සිදු වන බව අප දන්නවා.
කැපකිරීම් රාශියකින් පසුව, සාර්ථකව අධ්‍යාපන කටයුතු නිමා කරන ඕනෑම කෙනෙකුට තියන ප්‍රශ්ණයක් තමයි, ඉක්මනින්ම තමන්ට සුදුසු රැකියාවක් තෝරා ගැනීම. මෙය කොච්චර ලොකු ප්‍රශ්ණයක්ද කියනවා නම් ගෝලීයව සිදු වන සියදිවි නසාගැනීම් රාශියකට රැකියාවක් නොමැතිකම නිසා සිදු වන මුදල් අඟ හිඟ කම් බලපානවා.
ඉතින් එවැනි තත්ත්වයන්ගෙන් සමාජය බේරා ගැනීම සඳහා මෙන්ම, ඔබට ඔබගේ පළමු රැකියාව සාර්ථකව තෝරාගැනීමට මඟ පෙන්වීම ලබාදීම මේ ලිපියේ අරමුණයි.
ඔබගේ පළමු රැකියාව සාර්ථකව තෝරාගැනීමට
මේ දවස්වල දේශීය රැකියා වෙළඳපොළේ තත්ත්වය නම් එච්චර හොඳ නැහැ. බොහෝ මහා පරිමාණ ව්‍යාපාරයන් පවා සිය සේවකයන්ගේ වැටුප් කප්පාදු කරමින්, සේවක සංඛ්‍යාව අවම කිරීමට කටයුතු කරන තත්ත්වයක් රටේ දක්නට ලැබෙනවා.
මෙවන් තත්ත්වයක් තුළ රැකියාවක් සොයා ගැනීම ඉතා අසීරු කාර්යක් බව අපි දන්නවා. මෙම ලිපිය හරහා අප ඔබට ගෙන එන්නේ කොතරම් අපහසු කාලයක වුවත් වෙළඳපොළ තුළ දැඩි ඉල්ලුමක් සහිත වන රැකියා අපේක්ෂකයෙක් වෙන්නේ කෙලෙසද කියලා.
අවුරුදු හතරක විශ්ව විද්‍යාල ගමනට සමු දීලා ,වෘත්තීය ජීවිතයට ආරම්භයක් ගන්න යන මොහොත වැදගත් කඩයිමක්. බොහෝ දෙනා මෙම කඩයිම සාර්ථකව පසු කර ගැනීමට දැඩි වෙහෙසක් ගන්නවා.
රැකියා සම්මුඛ පරීක්ෂණ 100කට විතර ගිහිනුත් රැකියාවක් නොමැතිව රැකියා වියුක්තියෙන් පෙළෙන උපාදිධාරීන් බොහෝ දෙනෙක් අපි දන්නවා.
එය ඉතාම දක්ෂ කෙනෙකුටත් සිදු වෙන්න පුළුවන්.
රැකියා සම්මුඛ පරීක්ෂණ 100කට විතර ගිහිනුත් රැකියාවක් නොමැතිව රැකියා වියුක්තියෙන් පෙළෙන උපාදිධාරීන් බොහෝ දෙනෙක් අපි දන්නවා. එය ඉතාම දක්ෂ කෙනෙකුටත් සිදු වෙන්න පුළුවන්. එයයි යථාර්තය. එහෙම කියල ජීවිතේ අතහරින එක හෝ අපේක්ෂා බිඳදමා ගැනීම නොවේ ඔබ කල යුත්තේ. නමුත් මෙසේ වෙන්නේ ඇයි කියා හඳුනාගැනීම වැදගත්.
ඇත්තටම ඇයි එහෙම වෙන්නේ ?
මේ සඳහා හේතුවන ප්‍රධානම කරුණ තමයි, රැකියා වෙළඳපොළ අවශ්‍යතා සමඟ පුද්ගල නිපුණතා, එහෙමත් නැත්නම් ස්වයං දක්ෂතා නොගැළපීම.
ඉතින් මෙම නොගැළපීම ඔබ ගළපගන්නේ කොහොමද ?
විෂය ධාරාවක් හැදෑරීමට පෙර, ඒ සඳහා වෙළඳපොළ තුළ පවතින අවස්ථා සොයා බලන්න.
ප්‍රථමයෙන්ම ඔබ යම් කිසි විෂය ධාරාවක් හැදෑරීමට පෙර, ඒ සඳහා වෙළඳපොළ තුළ පවතින අවස්ථා මොනවාද කියා හොඳින් සොයා බැලිය යුතුයි. මෙහිදී ඔබගේ දක්ෂතා එම වෙළඳපොළ තුළ තිබෙන අවස්ථා සඳහා මැනවින් ගැළපේද? එසේත් නැතිනම් ඔබගේ දක්ෂතා තව දුරටත් ඔප මට්ටම් කර ගත යුතු වේද කියා ඔබම තීරණය කළ යුතුයි. මගේ යාළුවා කරන නිසා මාත් මේ පාඨමාලාව හදාරන්න ඕනේ කියලා හිතන අයට මේක බොහෝ වැදගත් වේවි.
උදාහරණයක් ලෙස ඔබට විලාසිතා නිර්මාණකරණය කෙරෙහි ආශාවක් ඇතිවී ඔබ ඒ පිළිබඳ උපාධියකට යොමු වන්නේ යැයි සිතමු. වෙළඳපොළ තුළ විලාසිතා නිර්මාණකරුවන් කොතරම් සිටියත්, අපනයන වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් සේවා ලබා දෙන නිර්මාණකරුවන් සිටින්නේ ඉතා අතලොස්සක්. ඉතින් ඔබට පෙනේවි මෙතන ඔබට ව්‍යාපාරික අවස්ථාවක් තිබෙන බව. එම අවස්ථාව හඳුනා ගත් පසු ඔබ සිදු කරන්න ඕනේ එම ව්‍යපාරික අවස්ථාවන් තව දුරටත් හොඳින් විශ්ලේෂණය කර අවබෝධ කර ගැනීම. ඉන් පසු, ඔබ විසින් එම වෙළඳපොළෙහි අවශ්‍යතා සඳහා සාර්ථක නිර්මාණ සිදුකිරීමට අවශ්‍ය නිපුණතාවයන් ඔබ තුළ ගොඩ නගා ගත යුතුයි. එය ලිඛිත හා ප්‍රයෝගික පුහුණුව යන විධි දෙකටම ඔබට සිදු කරන්න පුළුවන්.
රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ 4ක් ගැන ලිපියකි මේ.
රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු තවත් දේ 6ක් (දෙවැනි කොටස)
මම කොහොමද තනියෙන් මේ දේවල් කරගන්නේ?
දැන් ඔබ හිතනවා ඇති, මම කොහොමද තනියෙන් කිසිඳු මඟ පෙන්වීමක් නොමැතිව මේ දේවල් කරගන්නේ කියලා.
නිවැරදිවම මේ දේ කරනවා නම් අපි අපේ දරුවන් කුඩා කල සිටම දැනුවත් කළ යුතුයි ලොව ඇති විවිධ රැකියා අවස්ථා ගැන. මෙය දෙමව්පියන් විසිණුත්, පාසල් තුළිනුත් සිදුවිය යුතුයි. මාධ්‍ය ආයතනත් මේ ගැන වගකීමක් ගන්න ඕනේ. දියුණුව බ්ලොග් එකෙන් අපි මේ කරන්න හදන්නේ ඒ කොයි කවුරුත් අතින් නොවුණු වගකීම.
නමුත් ඔබට මේ දැනුවත්වීම ලැබුණේ නැහැනේ කුඩා කල හෝ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළට විෂයයන් තෝරා ගැනීමේදී. ඒ නිසා ඔබ පහසු යැයි සිතුණ, ආස යැයි සිතුණ උපාධියක් කරන්නට උසස් පෙළ විෂයයන් තෝරා ගත්තා.
නමුත් ඔබ කෙසේ හෝ මෙතනින් ඉදිරියට යන්න පාර සොයාගන්න ඕන.
ඉදිරියට යන්න පාර සොයාගන්න…
ඔබ ශක්තිමත්!
මෙය ඔබට කළ හැකියි.
ඒ බව තදින්ම විශ්වාස කරන්න.
1. උදව් උපකාර ලබාගත හැකි පුද්ගලයන් සොයා යන්න පසුබට වෙන්න එපා.
ඔබට උදව් උපකාර ලබාගත හැකි පුද්ගලයන් සමාජයේ ඉන්නවා. විශේෂයෙන්ම ඔබ රැකියාව සඳහා යොමු වීමට බලාපොරොත්තු වන ක්ෂේත්රයේ ප්‍රවීණයින් සහ ගුරුවරුන් එහිදී වැදගත් වනවා. ඔබට ඔවුන්ගේ අත්දැකීම් තුළින් බොහෝ දේ ඉගෙන ගත හැකි. ඔවුන්ගෙන් ඔබ ඉදිරියට යා යුතු මග පිළිබඳ විමසා දැනගන්න. ඔවුන්ට ඔබගේ රැකියා අයදුම් පත්‍රය පෙන්වන්න, එහි දියුණු කර ගත හැකි තැන් අසා දැනගන්න. ඔවුන්ගේ වටිනා කාලයෙන් ඔබ වෙනුවෙන් කැප කරන කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න.
2. පළමු රැකියාවේදී පඩිය ගැන හිතන්න යන්න එපා.
ඔබට ඒ තුළින් ලබාගත හැකි අත්දැකීම් සම්භාරය සළකා රැකියාව තෝරා ගන්න. ඉන්ටර්න්ෂිප්, ට්‍රේනින්ග් වගේ ඒවට ගිහින් අත්දැකීම් ගත්තහම ඉදිරියේදී හොඳ රැකියාවකට යන්න පුළුවන්.
3. අර්ධ කාලීන හරි රැකියාවක් සොයාගන්න.
රැකියාවන් සොයා යන කාලය තුළ බොහෝ දෙනෙකු දැඩි ආතතියකින් පෙළෙනවා. ඉතින් එම කාලසීමාව තුළ නිකරුණේ කාලය ගත කිරීමට වඩා, අර්ධ කාලීන හරි රැකියා අවස්ථාවක් සොයා ගන්න එක හරිම කාලෝචිත තීරණයක්. එමඟින් ඔබගේ හැකියාවන් තවදුරටත් දියුණු වෙනවා වගේම, මුල්‍යමය වශයෙන් ඔබ ශක්තිමත් වෙනවා.
4. හැබැයි මතක තියාගන්න ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි.
රැකියාවක් නොමැතිව නිවසේ ගත කරන කාලයේදී අන් අය වෙනුවෙන් එහෙමත් නැත්නම් සමාජය වෙනුවෙන් යමක් කිරීමටත් අධිෂ්ඨාන කර ගන්න. ඒ තුළින් ඔබට එම පසු කරන අපහසු කාල සීමාවේ විශාල මානසික සහනයක් ලැබෙනවා.
5. ස්වෙච්ජා සේවා කරන්නට අවස්ථා සොයාගන්න.
විරැකියා කාලයක් තුළ ස්වෙච්ජා සේවය කිරීමේ ප්‍රයෝජන ගැන මේ අජිතා කදිරගාමර්ගෙන් ඔවදනක්.
“මා ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ජීවත් වෙමින් තොරතුරු තාක්ෂණ සමාගමක අලෙවිකරණ රැකියාවක් කරමින් සිටියදී 2008 වසරේ ලෝක ආර්ථික අවපාතය හමුවේ මට මගේ රැකියාව අහිමි වුණා. මාස කිහිපයකින් නැවත රැකියාවක් සොයාගැනීමට හැකි වේ යයි මා විශ්වාස කළත් වසර එකහමාරක් පමණ විරැකියාවෙන් සිටින්නට මට සිදු වුණා. ආර්ථික අවපාතයේ මුල් සති මාසවල මා අන්තර්ජාලයට ගිහින් රැකියාවන් වලට ඉල්ලුම් කළත් කිසිවෙක් හෝ නැවත මා හට ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ. හිත මෙයින් බොහෝ අදිරිමත් වෙනවා.
“මේ කාලයේ ඉලක්කයක් නැතිව ගෙදර හිරවෙලා සිටියදී මට බොහෝ අතිරේක කාලය තිබුණා. මට හැඟුනා මගේ මානසික සුවතාව සහ ජීවිතේ බේරගන්න නම් රැකියාවක් නැතත් කාර්යශීලිව ඉන්නට ක්‍රම සොයා ග ගත යුතුය කියා.
“විරැකියා සමය මුළදීම මා දැක්කා බොස්ටන් ආශ්රිත ප්‍රදේශවල ව්‍යාපෘති සඳහා විවිධාකාර හැකියාවන් සහිත ස්වෙච්ජා සේවකයින් සඳහා වූ දැන්වීමක්. මා මගේ ලේඛන හැකියා භාවිතයෙන් ස්වෙච්ජා සේවයට ඉදිරිපත් වුණා. අධ්‍යාපන සහ ශිෂ්‍යත්ව සේවා සඳහා වන පත්‍රිකා ලිවීමට මා තෝරා ගැනුන. කණ්ඩායමක් ලෙස අප ස්වෙච්ජාවෙන් කළ කාර්යයේ අගය ඇමරිකානු ඩොලර් 40,000ක් පමණ වුණා. මගේ අතට ශතයක්වත් නොලැබුණත් මේ අත්දැකීම මගේ රැකියා අත්දැකීම් විස්තරයට (resume එකට) අගයක් එක් කළා. මෙනිසාමයි මා තමන් කරන ස්වෙච්ජා සේවාවන් ගැන රැකියා විස්තරයේ සඳහන් කරන්න කියා හැමදෙනාටම කියන්නේ.”
6. නිතරම ඔබේ අගය වැඩි කරගන්න බලන්න.
21 වන සියවසේ අපිට එක සුදුසුකමක්, එහෙමත් නැත්නම් උපාධියක් ලබාගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවන බව ඇත්ත. නමුත් දිනෙන් දින ඔබේ අගය වැඩි කරගන්න ක්‍රම සොයන්න. එක් සුදුසුකමකට පමණක් සීමා නම් වෙන්න එපා.
7. රජයේ රැකියා පස්සේ පන්නන්න එපා.
අප දන්නා සමහරු බැංකු වලට එක් වෙන්න ලැබුණු රැකියා අවස්ථා අතහැර රජයේ රැකියා වලට යනවා. ඒ විශ්‍රාම වැටුප ගැන හිතලා. නමුත් මේ දෙක අතර ඇති විශාල අදායම් පරතරය බැලුවොත්, ඔබට පෙනේවී පෞද්ගලික අංශයේ රැකියාවක් ගෙන මුදල් ඉතිරි කළොත් අර විශ්‍රාම වැටුපට වඩා බොහෝ මුදලක් ඔබට එක්රැස් කරගත හැකි බව. එලෙසම එකම ආයතනය තුළ උසස් වීමේ සහ එම ක්ෂේත්රයේම වෙනත් ආයතනයකට යෑමට අවස්ථා පෞද්ගලික අංශයේ බහුලයි. එලෙසම වෙනත් රැකියා මගකට පිවිසීමේ අවස්ථාද ඔබ සතු වෙනවා.
මේ ගැනත් සිතන්න.
Leave a Reply