ඔබ ඉගෙනුමට දක්ෂයෙක්ද? ඉගෙනුම් කුසලතා ඔබ සතු ද?
අපි හැමෝම ඉගෙනගන්නේ වෙනස් විදිහට. හැමෝටම තමන්ට ආවේණික පාඩම් ශෛලියක් තියෙනවා. පාඩම් කිරීමේදී කිසිම දෙදෙනෙක් එක වගේ පාඩම් කරන්නේ නැහැ. නමුත් පාඩම් කිරීම සඳහා ගත කරන වේලාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් සාර්ථක පාඩම් කුසලතා මොනවාද එයින් ඔබට ගැලපෙන්නේ මොනවාද යන්න හඳුනා ගත යුතුයි.
මෙහි දැක්වෙන කුසලතා ලැයිස්තුවේ තිබෙන සෑම ප්‍රශ්නයකටම “ඔව්” හෝ “නෑ” යයි පිළිතුරු දෙන්න.
මේ පාඩම් කුසලතා ලැයිස්තුවේ අරමුණ ඔබගේ පාඩම් කුසලතා සහ පුරුදු මෙන්ම පාඩම් පිළිබඳ ආකල්ප ගැන ස්වයං අවබෝධයක් ලබාගැනීමට ඔබට උපකාර කිරීමයි. එම අවබෝධය ලබා ගත් පසු පාඩම් කුසලතා අතරින් කුමක් ඔබ දියුණු කරගත යුතුද යන්න ඔබටම අවබෝධ වේවි.
කාලය වෙන් කර ගැනීම
1. ඉගෙන ගන්නා දෙයට ප්‍රමාණවත් පමණට වැඩි වේලාවක් මා පාඩම් සඳහා ගතකරනවා.
2. විභාගයකට පෙර දින පැය ගණනාවක් බොහෝ දේ පාඩම් කරන්නට කල්ගත කිරීම මට සාමාන්‍ය දෙයක්.
3. මට අවශ්‍ය පමණින් සමාජශීලී වීමට කල් ගත කළහොත් මගේ පාඩම් වැඩ සඳහා මට කාලයක් ලැබෙන්නේ නැහැ. පාඩම් කරන්නට අවශ්‍ය තරම් වෙලා පාඩම් කළොත් මට අනිත් දේවල් වලට කාලයක් ලැබෙන්නේ නැහැ.
අවධානය යොමු කිරීම
4. මා බොහෝවිට රූපවාහිනිය හෝ ගුවන් විදුලිය හෝ සංගීතය පසුබිමේ තිබියදී පාඩම් කරනවා
5. මහන්සි නොදැනී, අවධානය ඉවත නොයා, එක දිගට දිගට පාඩම් කිරීම මට අමාරුයි.
6. පන්තියේදී දවල් සිහින මැවීම, කුරුටුගෑම හෝ නින්දට යෑම මට සාමාන්‍ය දෙයක්.
සවන් දීම සහ සටහන් තබා ගැනීම
7. බොහෝ වෙලාවට මා පන්තියේදී ලියාගන්න සටහන් ආපසු කියැවීමේදී අවබෝධ කරගැනීමට මටම දුෂ්කරයි.
8. බොහෝ විට මා වැරදි දේ මගේ සටහන් වලට ඇතුලත් කරගන්නවා.
9. මා සාමාන්‍යයෙන් පාසල් වාරය තුළ මගේ සටහන් කලින් කලට බලමින් විභාග සඳහා සූදානම් වන්නේ නැහැ.
කියවීම
10. පාඩම් පොතක පරිච්ඡේදයක් කියවා අවසානයේ එහි තිබුණේ කුමක්දැයි මතක් කර ගැනීම මට අපහසුයි.
11. සටහන් කියැවීමේදී එයින් වැදගත් නොවැදගත් කුමක් දැයි තෝරා බේරා ගැනීම මට අපහසුයි.
12. ඉගෙනීම් කටයුතු සඳහා අවශ්‍ය සියලු දේ කියැවීමට බොහෝවිට මට නොහැකි වෙනවා. එනිසා විභාගයකට පෙර දිනයේ ගොඩක් පාඩම් කරන්නට මට සිදු වෙනවා.
විභාග
13. කුමන හේතුවක් නිසා හෝ මා කොපමන සූදානම් වූවත් ලියන විභාගවලදී මට බොහෝ ලකුණු නොලැබී යනවා.
14. මා හැම විභාගය සඳහාම බොහෝ පාඩම් කරනවා. නමුත් ප්‍රශ්න පත්‍රය අතට ලැබුණාම මට හැමදේම අමතක වෙනවා.
15. මා බොහෝවිට පාඩම් කරන්නේ ඊලග විභාගයේ අවදානම පමණක් තුළින් දිරිමත් වී, උඩින් පල්ලෙන් අක්‍රමවත් ආකාරයකට.
කියවීම
16. මා කියවන දෙයෙහි විස්තර වල වල්මත් වීම නිසා එහි ප්‍රධාන අදහස් සහ සංකල්ප හඳුනා ගැනීම මට අපහසුයි.
17. මා සාමාන්‍යයෙන් කියවනවිට අන්තර්ගතයෙහි දුෂ්කර බව හෝ ඒ ගැන මා තුළ වන අවබෝධය අනුකූලව කියවීමේ වේගය වෙනස් කරන්නේ නැහැ.
18. මට දැනට වඩා වේගයෙන් කියවීමට හැකි නම් හොඳ යැයි මට නිතරම සිතෙනවා.
ලිවීම් කුසලතා
19. මගේ ගුරුවරුන් මා හට ව්‍යාපෘති හෝ පැවරුම් ලබාදෙන විට මට ඒවා කරගත නොහැකි බවක් හැඟෙනවා. හොඳ ආරම්භයකින් එයට අත ගැසීම මට දුෂ්කරයි.
20. නිතරම පාහේ මා මට ලබාදුන් පැවරුම් සහ රචනා ලියා අවසන් කරන්නේ ඒවා දියයුතු දිනට කලින් දින රාත්‍රියේ.
21. මා ලිවිය යුතු දේ සඳහා අවශ්‍ය අදහස් ක්රමාණුකූලව පෙළ ගස්වා ගැනීම මට බොහෝ දුෂ්කරයි.
ඉහත ඕනෑම ප්‍රශ්න කාණ්ඩයකින් ප්‍රශ්න දෙකකට හෝ වැඩි ගණනකට ඔව් යැයි ඔබ පිළිතුරු දුන්නා නම් ඒ කාණ්ඩය සඳහා අදාල කුසලතා ගොඩනඟාගැනීමට ඔබ උනන්දු විය යුතුයි.
ඕනෑම ප්‍රශ්න කාණ්ඩයක එක ප්‍රශ්නයකට පමණක් ඔබ ඔව් යැයි පිළිතුරු දුනි නම් එම අංශයෙන් බොහෝවිට සාමාන්‍ය කුසලතාවක් ඇතැයි අප විශ්වාස කරනවා.
ඔබේ ලකුණු කුමක් වුවත් පාඩම් කුසලතා සහ කුසලතා ගැන වැඩිදුර අවබෝධයක් ලබා ගැනීම ඔබගේ දියුනුවට මග පාදනවා.
පාඩම් කුසලතා ඉගැනීමෙන් ප්‍රයෝජනයක් ලබාගත හැකි අය සමග මෙම ලිපිය බෙදාගන්න.
Photo credits:
Luiz Kentero and VisionPic.net from Pexels
Leave a Reply