මුදල් පාලනය සාර්ථක කරගන්න කවුරුත් කැමතියි. මුදල් ඉතිරි කරන්නේ කොහොමද, වියදම් පාලනය කරන්නේ කොහොමද, ලැබෙන ආදායමින් ජීවත් වෙන්නේ කොහොමද, ණය බරින් මිරිකෙන්නේ නැතිව ජීවන සිහින සාර්ථක කරගන්නේ කොහොමද, ඉතිරි කරන මුදල් සාර්ථකව ආයෝජනය කරන්නේ කොහොමද කියන මේ සියල්ල දැනගැනීම වැදගත්. නමුත් කවුරුවත් මේ ගැන අපට උගන්වන්නේ නැහැ.
අපි මුලින්ම වියදම් පාලනය ගැන කතා කරමු
වියදම් පාලනය සාර්ථක කරගැනීමට අනිවාර්යයෙන්ම කළ යුතු දේ 5ක් තිබෙනවා.
- දෛනික වියදම් ලියා ගැනීම.
- වැදගත් වියදම් සහ නොවැදගත් වියදම් වෙන්කර හඳුනා ගැනීම.
- අනවශ්‍ය වියදම් කිරීමට අප යොමු වෙන කරුණු තේරුම් ගැනීම.
- අපගේ පවුල සඳහා මාසික බජට් එකක් හදා ගැනීම.
- මාසෙන් මාසේ බජට් එක තුළ ජීවත් වෙන්නට ක්‍රම සොයා ගැනීම.
මේ සියල්ල කරන්නට පදනම දැමෙන්නේ පළමු පියවරෙන්, එනම් දෛනික වියදම් ලියා ගැනීම තුළින්.
දෛනික වියදම් ලියා ගැනීම වැදගත් වන්නේ ඇයි?
වියදම් පාලනය සාර්ථක කරගැනීමට අනිවාර්යයෙන්ම කලයුතු දේ 5ක් තිබෙනවා. එයින් වැදගත්ම පළමු පියවර වන්නේ දෛනික වියදම් ලියා ගැනීම.
කරන්න ඉතා පහසු දෙයක්නේ? කොටු රුල් පොතක් අරන් දිනපතා ඔබ කරන සියලු වියදම් එහි ලියන්න. ඔබගේ පවුලේ හැමෝගෙම වියදම් ලියන්න ඕන. අවුරුදු අටකට වැඩි දරුවන් සිටිනවා නම් එයාලවත් මෙයට සහභාගී කරගන්න.
මේ විදියට සතියෙන් සතිය මාසයක් ඔබේ වියදම් ලියන්න.
මීළඟ පියවර වෙන්නේ වැදගත් වියදම් සහ නොවැදගත් වියදම් වෙන්කර හඳුනා ගැනීම.
හැමෝම කියනවනේ අපේ වියදම් වැඩියි. පාලනය කරගන්නේ කොහොමද කියලා.
අපට පාලනය කරන්න පුළුවන් අප දන්නා දේ පමණයි. අපේ අතට එන මුදල් කොහෙද යන්නේ කියන එක ගැන පැහැදිලි කරගැනීම වැදගත් වන්නේ එනිසා.
මුලින්ම ඔබේ වියදම් සතියක් ලියා බලන්න. සතිය අවසානයේ බලන්න එයින් මීළඟ සතියේ කපා හරින්න පුළුවන් වියදම් මොනවාද කියල. ඔබටම හැකි වේවි තෝරාගන්න අත්‍යවශ්‍ය වියදම් මොනවාද, අනවශ්‍ය වියදම් මොනවාද කියල. දරුවන්ගෙන් ඇහුවොත් ඔවුනුත් අදහස් දේවි.
ඔබ ඔබගෙන්ම අහන්න…
අපට මේ මාසේ ගිය මාසෙට වඩා රුපියල් 1000ක් ඉතිරි කරගන්න නම් කුමන වියදම්ද අඩු කරන්න පුළුවන්ද කියල.
අපි මේ ගැන වැඩ මුලුවලදී කතා කරනකොට අපුරු අදහස් එනවා.
එක කාන්තාවක් කිවුව මම කෙටි දුරවලුත් ත්‍රී වීලරෙන් යනවා. එය අඩුකලොත් මාසෙට රුපියල් 1000ටත් වඩා ඉතිරි කරගත හැකි කියල.
තවත් අය ගොඩක් දෙනෙක් කියනවා ෆ්‍රයිඩ් රයිස් කන එක අඩු කරන්න පුළුවන් කියල. පිරිමි කෙනෙක් කියුව යාළුවන් සමග ගිහින් අතිරේක කෑම-ෂෝට් ඊට්ස් අඩු කලොත් රුපියල් 1000ක් ඉතිරි කරගත හැකිය කියා.
අනිත් දේ තමයි රසවත්, නමුත් වියදම අධික ඇඟට අගුණ කෑම වර්ග. සල්ලි දීලා ලෙඩ වෙන්නේ මොකටද? සොසේජස්, බිස්කට්, ඉන්ස්ටන්ට් නුඩ්ල්ස් වැනි සැකසු මස් හෝ පිටි ඇති කෑම සහ බොහෝ පැණි බීම කෝවත් සෞඛ්‍යයටත් අහිතකරයි. ඒවා කන බොන එක අඩු කරන්න පුළුවන්. ඒ වෙනුවට, යෝගට්, පලතුරු, පලතුරු බීම, සැකසු නැති මස්, සාමාන්‍ය නුඩ්ල්ස් වැනි දේ කන්න බොන්න. ඇඟටත් හොඳයි. පසුම්බියටත් වාසියි. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා. නමුත් මේ මහන්සිය වටිනා මහන්සියක් නේ? ඉහත කියූ සමහර දේ බොහොමයක් මිල අධිකයි.
ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමත් අඩුකරන්න පුළුවන් කියා බොහෝ දෙනා කියනවා.
මම නම් කියන්නේ ගන්න විට, බොහෝ කලක් අඳින්න හැකි, තමන් ළඟ තියන අනෙක් දේවල් සමග ඇඳිය හැකි දේ ගන්න කියලා. ලාබ බඩුවේ හිලක් කියනවනේ. මේ ළඟදී මම එක කඩේකට ගිහින් ලස්සන ෂර්ට් තුනක් ගත්ත. ලස්සන මල් රටා සහිත නිසා බොහොම ආසා හිතුන. මිලත් සාධාරණයි, මම සාමාන්‍යයෙන් ගන්න ඒවාට වඩා. ගියේ සුදු ඇඳුම් ගන්න. ලාබ නිසා මේවත් ගත්ත.
පළමු ෂර්ට් එක ඇඳන් ගමනක් ගියා. ටික වෙලාවකින් එක බොත්තමක් හැලුන. දැක්ක නිසා කටුවක් ගහගෙන බොත්තම බෑග් එකට දමාගත්තා. හවස ගෙදර යනකොට තවත් බොත්තම් දෙකක්ම හැලිලා. ලැජ්ජවෙත් බැහැ. එයින් පස්සේ අල්ලන්න අලුත් බොත්තම් හොයන්න යන්නත් වුනා. මහා කාල නාස්තියක්. දෙවැනි ෂර්ට් එකත් එහෙමමයි. නොදැනම, පළමු දවසෙම බොත්තම් හැලුන. ආයේ මේ කඩේට යන්නේ නෑ කියා හිතාගත්ත. ඉන්පසුව හුල්ලලා (ලස්සන ෂර්ටනේ) ඇඳුම් අවශ්‍ය කෙනෙකුට දීලා දැම්ම. හැබැයි බොත්තම් ගලවලා නැවත අල්ලගන මිසක් අඳින්න එපා කියල තමයි දුන්නේ.
මම දැන් ලාබෙට ලැබුනත් පාට පාට බැග් සපත්තු ගන්නේ නැහැ. ඉස්සර ගත්තා. ඒ මෝඩ කමක් බව නොදැන හිටි කාලේ. දැන් ගත්තොත් ගන්නේ ඕන එකක් සමග අඳින්න ගෙනියන්න පුළුවන් කළු හෝ දුඹුරු ඒවා. මුදලුත් ඉතිරියි. බෑග් මාරුකරන්න ගියාම වෙන අකරතැබ්බත් අඩුයි. ආභාරණත් එහෙමයි. ඉතින් ඔලුවේ කැක්කුම් අඩුයි. කාලයත්, මුදලුත් ඉතිරියි.
සමහරු පුරුද්දටත් වියදම් කරනවා
අපට හමුවුන එක තරුණයෙක් හැම මාසෙම ෂර්ට් එකක් ගන්නවලු. දැන් කීයක් තිබේද කීවම 30ක් විතර කියල කියුව. ඉතින් එච්චර තිබෙද්දිත් තව ගන්නේ ඇයි කියල මම ඇහුව. පුරුද්දට ගිහින්ලු. හැබැයි මේ ගැන හිතල ඔහුම කීව මේ පුරුද්ද නතර කරන්න ඕන බව. එමගින් මාසෙට රුපියල් 2000ක් විතර ඉතිරිලු.
ඔබටත් මෙහෙම නොසිතා, පුරුද්දට කරන වියදම් තිබේද?
ඒ ගැන විමසා බලන්න කුමන වියදම් අඩුකරන්න හැකිද කියා.
සාර්ථක මුදල් පාලනයට වැදගත් වන අනිත් පියවර තුන නම්:
- අනවශ්‍ය වියදම් කිරීමට හේතුවෙන කරුණු තේරුම් ගැනීම.
- අපගේ පවුල සඳහා මාසික බජට් එකක් හදා ගැනීම සහ
- මාසෙන් මාසේ බජට් එක තුළ ජීවත් වෙන්නට ක්‍රම සොයා ගැනීම.
ඉදිරි ලිපි වලින් අපි මේ ගැනත් කතා කරමු.
පුද්ගලික මුදල් පාලනය ගැන ඔබේ ගැටළු අප වෙත ඉදිරිපත් කරන්න.
Now I’m 50+ with the Elderly parants & the Childrens; We do have lot of commitments. So It’s too difficult to cut off some expenditures How ever As you said We shoud have to categorize the expenditures ; Some HOPES may there I think
Thanks & Best Regards.
LikeLike
Sisira, Did you check out the Diyunuwa YouTube Channel?
This is the latest video. There are also others.
LikeLike