ඔබ ප්‍රිය කරන රැකියාවක් හොයන්නට අද සිටම කළ හැකි දේ 3ක්

රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ 4ක් නමින් මා ලියු ලිපියට මෙහෙමෙ Facebook කමෙන්ට් එකක් තිබුණ, “එහෙම රැකියා නැහැ” කියා. මේ ලිපිය ලියන්නට හිතුවේ එනිසාමයි.

accuracy-accurate-black-226579Photo by icon0.com from Pexels

ඔබ ප්‍රිය කරන, ආසාවෙන් යෙදෙන්නට හැකි රැකියාවක් සොයාගැනීම පහසු නැහැ. එය නම් සත්‍යයක්. නමුත් එය කළ හැකියි. තම රැකියාවට ආදරය කරන, ප්‍රිය කරන අය මිලියන ගණන් ඉන්නවා. ඔවුන් රැකියාව කරන්නේ තමාට වැටුපක් සේ ලැබෙන මුදලට පමණක් නොවේ. එමගින් ලැබෙන අනික් ප්‍රතිලාභ වෙනුවන්ද පමණක් නොවේ. එම රැකියාවෙන් ලැබෙන ප්‍රීතිය, තෘප්තිය, එමගින් වන සේවය වැනි දේ ගැන හිතල.

මගේ රැකියා සිහින සහ අපේක්ෂා කැරකී ගිය අයුරු ගැන විස්තරයක්

මා සාමාන්‍ය පෙළ කරන්නටද පෙර මට අවශ්‍ය වී තිබුනේ පශු වෛද්‍ය වරයෙක් වීමට. නමුත් පාසලෙන් පිටවන විට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය බොහෝ කලක් වසා සිට, නැවත විවෘත කළත් මහා අර්බුදයකට වැටී තිබුනා. අපේ batch වල අයට උසස් පෙළ අවසන් කර විශ්වවිද්‍යාලයට යන්න වසර දෙකක කාලයක් බලන් ඉන්න සිදු වුණා.

ඊට අමතරව පශු වෛද්‍ය පීඨ තිබුණේ, මට මතක විදියට, පේරාදෙණියේ සහ රුහුණේ. මේ කොයිකට ගියත් ඔයානම් පන පිටින් ගෙදර එන්නේ නැහැ කියා මගේ පියා කියුවේ අසාධාරණය සහ නවක වධය හමුවේ නිශ්ශබ්දව සිටීමේ හැකියාවක් මා සතු නොවූ බව හොඳින් දැනගෙනයි.

ඒ කතාවට නම් මාත් එකඟ වුණා. නමුත් ඔහු දුන් විකල්පය වුණේ කොළඹ ජීව විද්‍යාව කරන්න තෝරාගන්න කියන එකයි. මෙය මටනම් ඇල්ලුවේ නැහැ, මක් නිසාද මා සිතුවේ එයින් ලබාගතහැකි සුලභම රැකියාව ගුරු වෘත්තීය කියා සිතු නිසා. මට ගුරුවරයෙක් වීමට හිතුනේ නැහැ. මා සිතුවේ ඒ සඳහා අවශ්‍ය වන ඉවසීම වැනි කුසලතා මා සතු නොවන බවයි. එමගින් විද්‍යාඥයෙක් වෙන්නටද හැකි බව මා දැන සිටියේ නැහැ. (දැන් දන්නවා, නමුත් පරක්කු වැඩියි.)

එහෙනම් මොනවා කරන්නද කියා සිතද්දී මට හිතුනා කළමනාකරණ උපදේශක (Management Consultant) වෘත්තියක් හැටියට හොඳයි කියල. මා අත්දැක තිබුනා මගේ පියා, නිහාල් දිසානායක, ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව ඇරඹු මුල් කළමනාකරණ උපදේශක කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසින් කළ ව්‍යපෘති ඉතාමත්ම ප්‍රියජනක ආකාරයේ ඒවා බව.

මේ අදහසට ඔහු කැමති වුනා. නමුත් කළමනාකරණ උපදේශක තනතුරක් ලබාගන්න නම් හොඳ පදනමක් සහිත අධ්‍යාපනයක් අවශ්‍යයි කියා ඔහු කීවා. මේ සඳහා කළමනාකරණ ගණකාධිකරණ විභාග (CIMA) සමත් කිරීම හොඳ යයි ඔහු යෝජනා කළා. මාත් කැමති වුණා.

උසස් පෙළ කළ සැනින්ම මට ශ්‍රීලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට ඇතුළත් වියහැකි වනසේ අප දෙදෙනා ගොස් Clothing Industry Training Institute එකෙහි අධ්‍යක්ෂ වරයා හමුවුණා. මා ඒ වන විටත් තැපෑලෙන් ඇඳුම් කැපීමේ සහ මෝස්‌තර සැදීමේ පාඨමාලාවක් හදාරා තිබුණා. එහි අධ්‍යක්ෂක කුරුප්පු මහතා කියා සිටියා එවැනිම, නමුත් වෘත්තීය මට්ටමෙන් එය කරන පාඨමාලාව හැදෑරීම ඇඟලුම් ක්ෂේත්‍රයට හොඳ පිවිසුමක් වේවි කියල. මා බොහෝ සතුටින් එය කළා.

ඉන්පසු රැකියාවක් සොයන්න ගියා. බොහෝ රැකියාවලට ඉල්ලුවා. MAS සමුහ ව්‍යාපාරයේ Unichela සමාගමටත් ගියා. නමුත් සම්මුඛ පරීක්ෂණ වලදී මාව තෝරාගත්තේ නැහැ. මෙයට හේතුව පැහැදිලි කළේ MAS සමුහ ව්‍යාපාරයේ මහේෂ් අමලියන් මහතා. ඔහු කිවුවා “ඔක්කොම හොඳයි, හැබැයි මේ අවුරුදු දෙක අවසානයේ විශ්වවිද්‍යාල යන්න කාලය ආවාම ඔබ යන්න යයි” කියලා. මා බොහොම තදින්ම එය සිදුනොවන බව සහතික කළත් මට එම රැකියාව ලැබුණේ නැහැ.

මේ වන විටත් මා CIMA අරඹා තිබුණා. මා වසර දෙකකින්, එනම් එය සමත් විය හැකි අඩුම කාලයෙන් එය සමත් වුණා. සමත් වූ මාසයේම විශ්වවිද්‍යාලය මා කැඳවුවත් මා නොයන්න තීරණය කළා. මගේ අදහස වුණේ “මා දැන් වෘත්තිකයෙක්, තව දුරටත් නිකම් විශ්වවිද්‍යාල සිසුවෙක් වෙන්නට ඕනා කමක් නැහැ, මට රැකියාවක් අවශ්‍යයි” කියා.

මගේ මේ තීරණයට මගේ දෙමාපියන්ගෙන් ප්‍රශ්නයක් නොවුනත් ඔවුන්ගේ මිතුරු මිතුරියන්ගෙන් ඔවුන් මේ ගැන බොහෝ බැනුම් ඇහුවා.

මා මුළින්ම ගණකාධිකරණ සමාගමක් වන Burah Hathy ආයතනයට බැඳුනා. පසුව Coopers & Lybrand (දැන් PwC) සමාගමට බැඳුනා එහි කළමනාකරණ උපදේශක අංශයක් තිබු නිසා.

මා ගණකාධිකරණයට යනකොට බොහෝ දෙනෙක් කිව්වේ විද්‍යාව කරලා මේක පුලුවන්ද කියලා. එහි මහා අමාරුවක් මට නම් තේරුනේ නැහැ. මා 9 වසරේදී සාමාන්‍ය පෙළට විෂයයන් තේරුවේ ගණිතය, විද්‍යාව, වාණිජ සහ කලා ක්ෂේත්‍ර කොයිකත් තෝරාගන්න හැකිවෙන්න. ඒ කවුරුවත් කියල නොවේ. මගේම තීරණයක්. පශු වෛද්‍ය අදහස හිතට ආවේ ඉන් පසුවයි. එනිසා මට CIMA අපහසු වුණේ නැහැ, commerce සහ accounts කර තිබු නිසා.

මා 9 වසරේදී සාමාන්‍ය පෙළට විෂයයන් තේරුවේ ගණිතය, විද්‍යාව, වාණිජ සහ කලා ක්ෂේත්‍ර කොයිකත් තෝරාගන්න හැකිවෙන්න.

ඒ කවුරුවත් කියල නොවේ. මගේම තීරණයක්.

කෙසේ වෙතත් රැකියාවට ගිය පසු මට තේරුණා මේ ගණන් එක්ක කරන හරඹය මට ගැළපෙන්නේ නැහැ කියල. එවකට මගේ කළමනාකරු වූනේ වර්තමානයේ එම සමාගමේ ප්‍රධානී සුජීව රාජපක්ෂ. මේ කතාව ඔහුට බොහෝ පුදුමයක් වේවි.  කෙසේ වෙතත් මා කවදාවත් ආයතනයක ගණකාධිකරුවකු හෝ කළමනාකරණ ගණකාධිකරුවකු නොවන්නට තීරණය කළා.

මම අකුරු වලට ප්‍රිය කරන්නෙක්. නමුත් මගේ අවසාන අරමුණ කළමනාකරණ උපදේශකයෙක් වීමනේ. ඉතින් මම සුජීවගේ මගපෙන්වීම යටතේ බොහොම උනන්දුවෙන් පොඩි සමාගම් වල පොත් තබාගැනීම කළා. සමාගම් විගණනය ගැන හොඳින් ඉගෙන ගත්ත. කැල්කියුලේටරයට කොටන කොටන වරක් පාසා මගේ අගය වැඩි වන බව මා දැන සිටියා. රෑ දවල්, සමහර විට අලුයම 2 වෙනකල් box file එක්ක දඟලන අතරේ මෙයින් මගේ අගය වැඩිවන බව මා නිතරම මටම මතක් කරගත්ත.

මේ රැකියා දෙකෙහිම මා ප්‍රිය කළ කොටස් තිබුණා. විශේෂයෙන්ම කණ්ඩායම් නායකයෙක් ලෙස කටයුතු කරන්නට ලැබුන අවස්ථා මට බොහෝ අත්දැකීම් ලබාදුන්නා. බොහෝ මහන්සි වී, උපායධර්මනුලව අධ්‍යයනයන්ට අනතුරුව අප සොයාගත් දේ ගැන දිගු වාර්තා ලියන්න තිබුනේ. මා මේවට බොහෝ කැමතියි.

මට අවශ්‍ය වුණේ මා ප්‍රිය කළත් නොකළත් මගේ වගකීම හරියට ඉටුකර මගේ අගය වැඩි කරගැනීම.

සමස්තයක් ලෙස ගත කළ මට අවශ්‍ය වුණේ මා ප්‍රිය කළත් නොකළත් මගේ වගකීම හරියට ඉටුකර මගේ අගය වැඩි කරගැනීම. වචනයේ නියමාර්තයෙන්ම හොඳ වෘත්තිකයෙක් වීම. මා ගණකාධිකරණයට ප්‍රිය නොකළ බව දැනගත්තාම මා එක්ක වැඩකළ අයට එය මහා පුදුමයක් වුණා. “එහෙනම් කොහොමද මෙහෙම කැපවී වැඩකරන්නේ,” මගේ එක ගෝලයෙක් ඇසුවා. “ඒ කරන්නේ මා වෘත්තිකයෙක් නිසා. කැල්කියුරේටරයට කොටන කොටන වරක් පාසා මගේ අගය වැඩි වෙනවා කියා මා දන්නා නිසා”, මා කියුවා.

පසුව මා ව්‍යාපාර කළමනාකරණය ගැන පශ්චාත් උපාධියක් ලබාගන්න විට කළමනාකරණ උපදේශනය ගැනත් ඉගෙන ගත්ත.

සාර්ථකත්වය කරා අප යන මග සරල රේඛාවක් නොවේ

Route to success

ඉතින් මේ දිග කතාවක්. නමුත් මා මෙය කිව්වේ සමහර විට, සාර්ථකත්වය කරා අප යන මග සරල රේඛාවක් නොවන බව පැහැදිලි කරන්නයි. අවශ්‍ය වන්නේ, අකමැති දේ පවා හොඳින් කරන්නට කැපවීමයි. යමක් හොඳින්, කළ හැකි ඉස්තරම් මට්ටමින් කළාම එයින් තෘප්තියක් ලැබෙනවා. එලෙසම ඔබගේ නායකයන්, කළමනාකරුවන් විධායකයන් ආයතන හිමිකරුවන් අතර ඔබට හොඳ නමක් හිමි වෙනවා. ඔබට අවශ්‍ය විට ඔවුනගේ නම් ඔබගේ රැකියා ඉල්ලුම් පත් වලට එක්කරන්නට විමසුවාම ඔවුන් සතුටින් එයට එකඟ වෙනවා. උසස් වීම් ලැබීමේ අවස්ථාද හිමි වෙන්නේ මෙහෙම අයටයි.

රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ ලිපි පෙළෙහි දෙවැනි කොටසේ ද මා මේ ගැන පැහැදිලි කළා. අපි කොයි කාටත් සියයට සියයක් ගැළපෙන රැකියාවක් කොහෙවත් නැහැ. කොපමණ සතුටින් රැකියා කරන අයත් තම රැකියාවේ අප්‍රිය වගකීම් බොහෝ තිබෙනවා. එයයි යථාර්තය. අවශ්‍ය වන්නේ හොඳ දේ වැඩි, අප්‍රිය දේ අඩු රැකියාවක් හෝ රැකියා මගක් සොයාගැනීම. ප්‍රශ්නය වෙන්නේ රැකියාවක් හෝ දෙකක් හෝ කිහිපයක් නොකර, වසරක් දෙකක් ලැබුන රැකියාව අල්ලාගෙන ඉන්නේ නැතිව දම ගසා යන අයට මේ ගැන සොයාගැනීම අපහසු වීමයි.

අපි කොයි කාටත් සියයට සියයක් ගැළපෙන රැකියාවක් කොහෙවත් නැහැ.

කොපමණ සතුටින් රැකියා කරන අයත් තම රැකියාවේ අප්‍රිය වගකීම් බොහෝ තිබෙනවා.

එයයි යථාර්තය.

ඔබ ප්‍රිය කරන රැකියා මගක් හෝ රැකියාවක් හොයන්නට කළ යුතු, අද සිටම කළ හැකි දේ තුනක් මා දැන් විස්තර කරන්නම්.

අද සිටම කළ හැකි දේ තුනක්

sweet spot

1. එය කළ හැකියයි විශ්වාස කරන්න.

ඔබ කරන කුමන හෝ රැකියාවකට ආදරය කරන්නට තදින් ආසා කරන්නට ඔබට නොහැකි යැයි ඔබ සිතනවානම්, එවැනි රැකියාවක් ඔබට ලැබෙන්නට තිබෙන අවස්ථාව බොහෝ දුලබ වේවි. ඔබ උනන්දුවෙන්, ඕනා දෙයක් අත්හදා බලන්නට, මහන්සි වී වැඩ කරන්නට, කැප වී වගකීම් ඉටු කරන්නට කැමති කෙනෙක් නම් ඔබට පහසුවෙන් රැකියා සොයාගන්නටත්, සොයාගන්න රැකියාවන් හොඳින් කරන්නටත්, එහි අන්තර්ගතය සහ වගේකීම් මනාව හඳුනාගෙන, නිසි අයුරින් ඉටු කරන්නට අවශ්‍ය කුසලතා සහ ගුණාංග වඩා ගැනීමටත් අවස්ථා හිමිවේවි.

කොයි වෘත්තියත් අමාරුයි. කොයි රැකියාවෙත් මුලදී බොහෝ අභියෝග එනවා. අල්ලාගෙන සිටීමේ ඉවසීම ගොඩනගා ගත යුතුයි. මා ශ්‍රී ලංකාවේ තරුණයන් අතර දකින දෙයක් (හැමෝම, නෙමෙයි, බහුතරය), ලෙහෙසි, පහසු, රැකියා සෙවීම. කරන්න වටිනා කිසිම රැකියාවක් ලෙහෙසි නැහැ. එයත් මතක තබා ගන්න.

ගුරු වෘත්තීය බලන්න. ඔවුන් කොපමණ මහන්සියෙන් කැපවීමෙන්ද දරුවන්ට උගන්වන්නේ? සමහර දුෂ්කර පළාත් වල ඈතින් ආ ගුරුවරුන් බොහෝ අභියෝගාත්මක ජීවිත ගත කරනවා. පහසුකම් අඩුයි. සමහර දරුවන් ඉගෙනීමට යොමු නැහැ. පන්ති පාලනය දුෂ්කරයි. වැඩිය මහන්සි වුනොත් අනිත් අය බනිනවා.

මේ අවසාන ප්‍රශ්නය ගුරු සේවයේ නොව මුළු රාජ්‍ය සේවයේම මුල්බැසගත් ශාපයක් ලෙසයි මා දකින්නේ. තමන් වැඩ නොකර සිටීම එකක්. උනන්දුවෙන් කරන්න යන අයට අකුල් හෙළීම තවත් එකක්. අන්තිමේදී කවුරුවත් දියුණු වෙන්නේ නැහැ.

තරුණ අය රැකියාවන් ලබාගත් පමණින්, සුළු දේ නිසා රැකියා හැර යනවා. එයට ප්‍රබලම හේතුව දෙමාපියන් එය කරන්නට දී ඔහේ සිටීම. “ඕක නැතුවට අපට පුළුවන් ඔයාට කන්න දෙන්න” යැයි කියන දෙමාපියෝ කීදෙනෙක් සිටිනවාද? ආදරේ වෙනම දෙයක්. මෙවැනි, සුළු දේට රැකියා හැරයාමට අනුබල දීම නොකළ යුතුයි. වැඩිහිටියන්, දෙමාපියන්, මිතුරුමිතුරියන් කොයි කවුරුත් කළ යුතු නිවැරදි දී වන්නේ කෙසේ හෝ දත්මිටි කාගෙන ලැබුණ රැකියාව උනන්දුවෙන් වසරක් හෝ දෙවසරක් කිරීම සඳහා අනුබල දීමයි.

කරලා බැලුවොත් පමණයි එම රැකියාවේ නියම තත්වය හැගී යන්නේ. එහි හොඳ නරක හරි හැටි වැටහෙන්නේ.

කෙසේ වෙතත්, ඔබට ප්‍රිය වන රැකියාවක් සොයාගත හැකි වෙන්නේ ඔබ ඒ ගැන තදින්ම විශ්වාස කළොත් විතරයි.

අදම ආරම්භ කරන්න

“මට ප්‍රිය වන, මා සිහින මවනා ආකාරයේ රැකියාවක් මට ලැබෙනවා,” කියා ඔබ දිනපතාම, නීති පතාම ඔබටම කියාගන්න.

හිතෙන් නිතර නිතර මෙය කියන්න. මේ විශ්වාසය තදින්ම උඩු හිතේ පමණක් නොව යටි හිතේද පැලපදියම් කරගැනීම අවශ්‍යයි.

“ඔවු, මට හැකිය” යන විශ්වාසය ඔබ තුළ තිබේනම්, ඔබ ඉදිරියට එන ඕනෑම අභියෝගයකට, පරාජයකට, පා පැටලීමකට මුහුණ දී නොවැටී සිටින්නට සහ වැටුණත් නැවත නැගී සිටින්නට ඔබට හැකි වෙනවා. එලෙසම ඔබගේ ආත්ම විශ්වාසයද ගොඩනැගෙනවා. දයා රෝහණ අතුකෝරාල ලියු බොහෝ පොත් මේ සඳහා ඔබට උපකාර වේවි.

“ඔවු, මට හැකිය” යන විශ්වාසය ඔබ තුළ තිබේනම්, ඔබ ඉදිරියට එන ඕනෑම අභියෝගයකට, පරාජයකට, පා පැටලීමකට මුහුණ දී නොවැටී නැගී සිටින්නට සහ වැටුණත් නැවත නැගී සිටින්නට ඔබට හැකි වෙනවා.

2. ඔබගේ කුසලතා මනාව හඳුනාගන්න.

ඔබට වඩාත්ම හොඳින් කළ හැකි දේ මොනවාද? ඔබගේ කුසලතා වලට සහ සිතුම්පැතුම් වලට මනාව ගැලපෙන රැකියාවක් සොයාගත හැකිනම් එහි නියැළීම බොහෝ තෘප්තිමත් වේවි. මෙහිදී වැදගත් කුසලතා අතරට සිතීමේ හැකියාව සහ ප්‍රශ්ණ විසඳීමේ හැකියාව වැදගත්. මේ කුසලතා උවමනාවෙන් ගොඩනගා ගන්න පුළුවන්. අසුබදායී ආකල්ප පවා සුබදායී කරගන්න පුළුවන්. හිතුවොත් කරන්න බැරි දේ බොහෝ දුර්ලභයි.

ඔබගේ ජීවිත අරමුණු සොයා යාමේදී හුදු ආත්මාර්ථය පමණක් සෑහෙන්නේ නැහැ. බොහෝ තෘප්තියෙන් කළ හැකි රැකියාවලට පොදු සාධකයක් වන්නේ එයින් අන් කාට හෝ යම් හෝ ආකාරයකින් සේවයක් සිදු වීම. 

ඔබගෙන් මේ ප්‍රශ්න අසාගන්න

රැකියාවේදී ඔබ තෘප්තිමත්ව කටයුතු කළ වෙලාවක් මතක් කරගන්න. එහිදී ඔබ කුමන සිතීමේ හෝ ගැටළු විසඳීමේ කුසලතා යොදාගත්තේ කොහොමද? මෙවැනි අවස්ථා පහක් අරගෙන ඒවා ගැන වැඩිදුර සිතන්න.

ඒ අතර යම් හෝ රටාවක් දකින්නට ඔබට හැකි වේද? ඔබේ රැකියා ලොව තෘප්තිය රඳා පවතින්නේ මෙවැනි රටා තුළයි. ඒවා හඳුනාගැනීමෙන් ඔබගේ සුවිශේෂ දක්‍ෂතාද හඳුනාගන්නට ඔබට හැකි වෙනවා.

එලෙසින්ම ඔබ රැකියාව කරන අත‍ර යම් හෝ සේවයක් සපයමින් ඔබ අතිශයින් ප්‍රීතිමත් වූ අවස්ථාවන් හඳුනාගන්න. බොහෝ තෘප්තිමත්ව රැකියාවේ නියැලුණු මේ අවස්ථා තුළ සේවය සැපයීම හෝ උපකාරයක් හෝ උදව්වක් කිරීම වැනි දේ අඩංගු වූ අවස්ථා මතක් කරගන්න.

ඔබට අතීතයේ මුහුණදීමට සිදුවූ විවිධාකාර මානසික අභියෝගයන් මේ තෘප්තිය ගෙනදුන් අවස්ථා සමග බැඳෙන්නේ කෙසේදැයි සිතා බලන්න. ඔබගේ ජීවන අරමුණු බොහෝ දුරට මෙම මානසික අභියෝගයන් හා සබැඳි බව තේරුම් ගත යුතුයි. මෙය හොඳින් වටහා ගත් පසුවයි ඔබට හැකි වන්නේ ඔබට තෘප්තිය ගෙන දෙන්නේ කුමනාකාරයේ දේ කිරීමෙන්දැයි හොඳින් තේරුම් කරගැනීමට. ඔබගේ තෘප්තිය ගොඩනැගෙන්නේ ඔබ මුහුණදුන් අභියෝග වලට මුහුණදෙන අන් අයට උපකාර කිරීමෙන් බව ඔබට පසක් වේවි.

මේ අදහස රැකියාවේ තෘප්තිය සොයන හැමෝටම ඒ අයුරින්ම අදාළ නොවෙන්න පුළුවන්. නමුත් බොහෝ දෙනා රැකියාවේ තෘප්තිය සොයාගන්නේ සේවය යන සංකල්පය තම රැකියාවට ගළපා ගැනීමෙන්.

3. ඔබට ගැළපෙන පරිසරයක්, ආයතනයක්, සංස්කෘතියක්…

ඔබගේ සිතුම් පැතුම් වලට, රුචි අරුචිකම් වලට ගැළපෙන පරිසරයක්, ආයතන සංස්කෘතියක් සහ පුද්ගලයින් සිටින්නේ කුමන රැකියා වලදැයි අවබෝධ කරගන්න.

අප සැම එකිනෙකාගෙන් වෙනස්. අපට ගැළපෙන රැකියාව සොයාගැනීමත් අපට ගැළපෙන සහකරුවකු හෝ සහකාරියක් සොයාගැනීම හා සමානයි.

සියයට සියයක් ගැළපෙන පුද්ගලයින් සොයාගැනීම පහසු නැහැ. නමුත් අවසානයේ බොහෝ දුරට අපට ගැළපෙන කෙනෙක් අපි තෝරාගන්නවා. නමුත් ඒ පුද්ගලයා ආශ්‍රයෙදී වැඩිදුර හඳුනාගැනීමේදී අප කලින් නොදුටු ආකාරයේ ගැළපීම් හමුවෙනවා. පෙනෙන්න ගන්නවා.

රැකියා සෙවීම ගැනත් ඒ විදියට සිතන්න. ඔබට හොඳින්ම ගැළපෙන රැකියා සොයා යාමේදී ඔබට ගැළපෙන, හැඩගැහෙන්න්ට හැකි ආකාරයේ පරිසරයක්, රැකියා සංස්කෘතියක් සහ ඔබ හා බොහෝදුරට සමාන පුද්ගලයින් එතැන සිටීදැයි සොයා බලන්න. සමහරුන්ට තැනට ගැළපෙන සේ හැඩ ගැසීමේ හැකියාව තිබෙනවා. අන් අය මේ අතින් දුර්වලයි. ඔවුන් තම අනුවර්තන වීමේ හැකියා වැඩිදියුණු කරගත යුතුයි.

කෙසේ වෙතත්, රැකියා ස්ථානයක් ගැන මනා ලෙස සොයා බලන්නට ඔබට හැකියි. ඔබ හඳුනන අය එහි දැනට සිටිනවාද? පෙර එම ආයතනයේ වැඩ කර තිබෙනවාද? මේ විමසා බලන්න.

සම්මුඛ සාකච්චඡවේද මේ ගැන ප්‍රශ්න අසන්නට ඔබට අවස්ථා ලැබේවි. එයින් ප්‍රයෝජන ගන්න.

අවසානයේ කියන්න තිබෙන්නේ මෙයයි. පීනීම සහ බයිසිකල් පැදීම ඉගෙනගන්න පුළුවන් ඒවා කරලාම තමයි. රැකියාවල්ද එසේයි. ඔබට යම් රැකියාවක් ලැබුනොත් එහි යම් කාලයක් රැඳී සිටීමෙන් තමයි එහි නියම ස්වරුපය හඳුනා ගත හැකි වන්නේ. පළමු සතියේම ඇතිවන අභියෝග නිසා එය දමා ගසා නොයා යුතුයි.

දැන් මේ ගැන ඔබගෙන්ම විමසන්න

  • ඔබට හොඳින්ම සිතන්නට හැක්කේ දිනයේ කුමන වේලාවකදීද?
  • ඔබට සර්ව සම්පුර්ණ සේ හැඟෙන රැකියා දිනයක් කොයි ආකාර වන්නේද?
  • ඔබට සැනසීමෙන්, මනා අවධානයෙන් සේවය කළ හැකි, ඔබේ සිත ප්‍රබෝධමත් කරන පරිසර මොනවාද?
  • ඔබගේ මුලික අගයයන් මොනවාද?

මේ ලැයිස්තුව භාවිතයෙන් ඔබට ගැළපෙන රැකියා පරිසරයක් ඇති තැනක් සොයාගන්නට ඔබට හැකි වේවි.

මෙය පහසු නැහැ

ඔබට මේ සඳහා තරමක් මහන්සි වෙන්නට වේවි. තොරතුරු සොයාගැනීම අභියෝගාත්මක වේවි. නමුත්, “මට ගැළපෙන රැකියා සොයාගන්න අපහසුයි කියා” ලතවෙමින් ගෙදර නිදාගැනීම සහ කාලය සහ ජීවිතය නාස්ති කිරීම එයට නිසි විසඳුමක් නොවේ. අවශ්‍ය වන්නේ හැකිතරම් තොරතුරු සොයා, ආයතන ගැන විස්තර දැනගැනීම තුළින් ඔබට මනා සේ ගැළපෙන රැකියාවක් සොයාගැනීමයි.

අනෙක් විකල්පය වන්නේ යම් හෝ රැකියාවක් සොයාගෙන එහි සෑහෙන කාලයක් කෙසේ හෝ අල්ලාගෙන සිටීමයි. මේ දෙකෙන් ඔබට ගැළපෙන විකල්පය තෝරාගන්න.

ඉහත කරුණු තුන ගැන හොඳින් සිතා බලන්න

ඒ උපදෙස් පිළිපැදීමෙන් ඔබට ආසාවෙන්, තෘප්තියෙන් කළහැකි රැකියාවක් සොයාගන්නට උත්සාහ කරන්න.

දන්නවනේ? උත්සාහවන්තයා ජයගනී!

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: