තම රැකියා මග තෝරාගැනීම කෙනෙක් විසින් ජීවිතයේ ගන්නා ඉතාමත් වැදගත් තීරණයකි. අප ඉතා සුළු තීරණ ගැන පවා බොහෝ දේ සිතුවත්, කාලය ගත කළත් අපගේ රැකියා මග තීරණයට එතරම් මහන්සියක් නොදරන බව සත්‍යයකි. බොහෝ දෙනෙක් රැකියා මග තෝරාගන්නේ ඉබේමය. නැතහොත් ඉතාම සුළු කාලයක් හෝ උනන්දුවක් ඒ වෙනුවෙන් කැප කිරීමෙනි.
මෙය අභාග්‍යයකි. ඔබ තෝරාගන්න රැකියා මග ඔබගේ ශාරීරික සහ මානසික සුවතවයටද, ආර්ථික දියුණුවටද, රැකියාවේ තෘප්තියටද පොදුවේ ජීවිතයේ ඔබ ලබන සතුටටද බොහෝ සේ බලපායි. එබැවින් මනාව, කාලය ගෙන, විචාරාත්මකව විකල්ප සළකා බලා අනාගත රැකියා මගක් තෝරා ගැනීම සුදුසුය.
මෙහි දැක්වෙන්නේ රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ 16ක ලැයිස්තුවකින් කොටසකි. එය තම රැකියා මග තීරණය කරන තරුණ තරුණියන්ට මෙන්ම ඔවුනගේ දෙමපියනටද ඔවුනට මග පෙන්වන අනෙක් වැඩිහිටියන්ටද ප්‍රයෝජනවත් වේ.
ඔබ දැනට රැකියාවක් කරන්නේ නම්, එම රැකියා මග වෙනස් කරගන්නට අවශ්‍ය නම්, මේ කරුණු ඔබටද ප්‍රයෝජනවත් වනු ඇත.
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන Future Minds ප්‍රදර්ශනය ආශ්‍රිතව පැවැත්වූ දේශනා සඳහා මවිසින් මේ ලැයිස්තුව සකස් කලේ දරුවන් සහ දෙමාපියන් වැරදි තීරණ ගැනීමෙන් මතුවට කරදර වලට මුහුණ පෑම වැලැක්වීමට සහ මුළු දිවියටම වැදගත් වන මේ තීරණය ගැන හොඳින් හිතා බැලීමට ඔවුන් යොමු කරවීමටය.
1. හුදු ඔබ කැමති දෙයක් හෝ කවුරුන් හෝ නිර්දේශ කළ දෙයක් තෝරා නොගන්න.
ඔබගේ තීරණය ගැන ගැඹුරින් සිතන්න. විවිධ රැකියා මං ගැන සොයා බලන්න. විවිධාකාර අය කියන විවිධාකාර දේ එලෙසම පිළිනොගෙන ඒ ගැන මැනවින් සොයා බලන්න. ඔබ කවුදැයි හොඳින් හඳුනාගෙන බුධිමත් අයුරින් රැකියා මග තීරණය කරන්න.
2. එය පහසු යැයි සිතා රැකියා මගක් තෝරානොගන්න.
පහසු යන්න සාපේක්ෂය. කම්මැලියන් පසුපස සාර්ථකත්වය හඹා එන්නේ නැත. සාර්ථකත්වය සොයා යන්නේ කඩිසර, ආයාසයකින් කැපවීමකින් වැඩ කරන කෙනාවය. සෑම රැකියා මගම, සෑම රැකියාවම මනාව ඉටුකරන්නට ආයාසය සහ කැපවීම අවශ්‍යය. ඔබට අවශ්‍ය සාර්ථක වන්නට නම් මේ යථාර්තය අමතක නොකරන්න.
3. ඔබේ යහළු මිතුරන් තෝරගන්නා නිසා රැකියා මගක් තෝරාගන්න එපා.
එය තෝරා ගත යුත්තේ එය ඔබට ගැළපේ නම් සහ එය ඔබගේ පවුලේ පසුම්බියට දැරීමට හැකිනම් පමණය. තීරණය ගන්නට පෙර මේ ගැන සොයා බලන්න.
යහළුවන් සමග සිටීමට හැකිවීම හොඳය. නමුත් එම සාධකය නිසාවෙන් තෝරා ගන්නා රැකියා මගේ හොඳ නරක සහ එය ඔබට සහ ඔබගේ අවශ්‍යතාවයනට සුදුසු නොසුදුසු බව නොදැකීම පසුතැවිල්ලට හේතු විය හැකිය.
4. රැකියා මග තෝරා ගැනීමේදී ඔබට එමගින් උපයා ගත හැකි මුදල් හෝ ජනප්‍රිය බව ගැන පමණක් නොසිතන්න.
සාර්ථකත්වය රැකියාවෙන් ලැබෙන මුලික සහ මුල්‍ය ප්රතිලාභ වලින් පමණක් නොසෑදේ. සාර්ථක වීම සඳහා කරන රැකියාවෙන් ඔබ ලබන තෘප්තියද වැදගත් වේ. ඔබේ දිගු රැකියා දිවිය ඔස්සේම මුදලින් පමණක් ඔබ සතුටට, තෘප්තියට සෑහීමකට පත් නොවනු ඇත. ඕනෑම රැකියාවක හෝ වෘත්තියක ඉහල යාමට ඔබට කැපවීම අවශ්‍ය වේ. මුලදී මුදල් පමණක් සෑහේ යයි පෙනෙනු ඇත. නමුත් යම් හෝ කලකදී මෙය වැරදි අදහසක් බව ඔබට වැටහෙනු ඇත. ඔබ මෙතනට පැමිණි විට ඔබට අවශ්‍ය වන්නේ කරන දෙය කෙරෙහි තදබල ආශාවකි (passion). කරන රැකියාවේ කුමන හෝ දයකින් තෘප්තියක් ලැබීම මෙහිදී ඔබට වැදගත් වනු ඇත. ඔබ මේ රැකියාවක් සේ කරන දෙයින් කොයි කාට හෝ සෙතක් සේවයක් වන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම මෙහිදී වැදගත්ය. එසේ ඔබ රැකියාව දෙස බලන්නට හැකියාවක් ඔබ සතු විය යුතුය. තම රැකියා මග තෝරා ගැනීමේදී මෙවැනි දෙය සිතා බලන්නේ ඉතා සුළු දෙනෙකි.
මෙම ලිපියේ දෙවැනි කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න.
මෙය ප්‍රයෝජනවත් නම් ඔබේ පවුලේ අය, මිතුරන් සහ එයින් ප්‍රයෝජනයක් ගත හැකි අයට කියවීමට share කරන්න.
ඔබ මේ කරුණු ගැන දරන අදහස් අප සමග බෙදාගන්න.
මුල් ලිපිය (16 Things You Shouldn’t Do in Choosing a Career) සහ සිංහල අනුවාදය:
නිලුකා දිසානායක, ACMA, MBA (Strathclyde)