ඔබේ ජීවන සිහිනය සැබෑ කරගැනීමට සාර්ථක මගක්

Ford.facebook-photo

ඔබේ සිහිනය ගෙයක් හදා ගැනීම වුනත්, නව රැකියාවක් හෝ විභාගයක් සමත් වීම වුනත්, විවාහයට සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගැනීම වුනත් කොයි ආකාරයේ එකක් වුනත්, එක යථාර්තයක් මතක තබාගන්න.

ඔබ යමක් කලොත් විතරයි මේ සිහිනය සැබෑ වෙන්නේ.

නිකම් සිහින මැව්වට සිහින් සැබෑ වෙන්නේ නැහැ.

ඔබ යම් හෝ අතකින් ක්‍රියාත්මක විය යුතුයි.

ඉතින් සිතන්න.

ඔබේ මේ සිහිනය සැබෑ කරගන්න අද ඔබ කුමක් කලාද? ඊයේ කුමක් කලාද? ගිය සතියේ හෝ ගිය මාසයේ කුමක් කලාද?

වැඩි දෙනෙක්ගෙන් මෙසේ ඇසුවාම කියන්නේ: මම කිසිවක් කලේ නැහැ කියලා.
ඉතින් ඔබේ සිහිනය සැබෑ කරගන්න ඔබට උවමනාවක් නැතිනම් කාටද උවමනාවක් තිබිය යුත්තේ? ඒ ගැනත් හිතන්න වටිනවා.

දියුණුවට මග සැදෙන්නේ මේ සාධක තුලින්

ඔබේ මේ කොයි සිහිනය සාර්ථක කරගන්න වුනත් කලයුතු මුලික දේවල් කිහිපයක් තියෙනවා. අපි මේ මොනවාදැයි විමසමු. දියුණුවට මග සැදෙන්නේ මේ සාධක තුලින්මයි.

  • ජීවන සිහිනයක් සාර්ථක කරගන්න නම් සැලසුමක් තියෙන්න ඕනෑ.
  • පැහැදිලි ඉලක්කයකට වැඩ කරන්න ඕනෑ.

මේ දේ කරන්නේ කොහොමද?

සාර්ථක කරගන්නට පුළුවන් ජීවන සිහිනයක් ලක්ෂණ

අපි සාර්ථක කරගන්නට පුළුවන් ජීවන සිහිනයක් ලක්ෂණ මුලින්ම හඳුනා ගනිමු.

1. සිහිනය නිශ්චිත විය යුතුයි. (Specific)

කඩේ ගිහින් බිස්කට පැකට් එකක් හෝ බීම බෝතලයක් ගන්නවානම් අපි මුදලාලිගෙන් “බිස්කට් පැකට් එකක් දෙන්න” කියනවද? නැහැනේ. අපි ඉල්ලන්නේ නිශ්චිත දෙයක්. “මැලිබන් මාරි ලොකු පැකට් එකක් දෙන්න” නැතිනම් “මන්චී ටිකිරි මාරි පොඩි පැකට් එකක් දෙන්න” යනාදී විදියටයි අපි ඉල්ලන්නේ.

ඉතින් අපේ සිහිනයත් එලෙසම පැහැදිලිව, නිශ්චිතව මනසේ මවාගන්න ඕනෑ.

මට ඉඩමක් අරන් ගෙයක් හදන්න ඕන කියන්නේ නැතිව එම සිහිනය නිශ්චිත කරගන්න.
මට අවශ්‍ය මේ මේ ප්‍රදේශ වලින්, මේ බිම් ප්‍රමාණයක් සහිත නිවසක් කියා නිශ්චිත අදහසක් හිතට ගන්න.
මට අවශ්‍ය නැති තට්ටුවේ නිවසක් හෝ තට්ටු දෙකක නිවසක්, මගේ නිවසේ මේ මේ කාමර තිබිය යුතුයි. මේ මේ ලක්ෂණ තිබිය යුතුයි කියල හිතේ නිශ්චිත කරගන්න ඕනා.

උදාහරණයක් ලෙස, ඔබේ සිහිනය දරුවාට ඉගැන්වීම කියමු. දරුවා තවම පළවැනි පන්තියේ නම්, ඔබ සිහිනය නිශ්චිත කරගත්තේ නැතිනම් උසස් පෙළ පාස් විය යුතුය, උපාදියක් කල යුතුය, නැතිනම් හොඳින් උපයාගත හැකි වෘත්තියක් විය යුතුය කියා, එහෙනම් පහ පාස් වුනත් සිහිනය සැබෑ නේ? සාමාන්‍ය පෙළ පස් වුනත් ඇතිනේ?

2. සිහිනය සැබෑ වුන විටදී මැනගන්න, එනම් ඒ ගැන අපට දැනගන්න පුළුවන් වෙන්න ඕන. (Measurable)

ඔබ දරුවා ගැන අධ්‍යාපන සිහිනය නිශ්චිත කරගත්තේ නම් දරුවා එම නිශ්චිත මට්ටම පසු කල පසු ඔබ දන්නවා සිහිනය සැබෑ වී ඇති බව.
ඔබේ අරමුණ දැනට මාසයකට ඉතිරි කරන පමණට වඩා මුදල් වැඩියෙන් ඉතිරි කිරීම යයි සිතමු. ඔබ දැනට ඉතිරි කරන්නේ රුපියල් 2000 හෝ 5000 හෝ කියා සිතමු. ගිය මාසේ ඉතිරි කලේ රුපියල් 2000 යි. මේ මාසේ රුපියල් 2200ක් ඉතිරි කලොත් ඔබ සතුටු වෙනවද?

නැතහොත් හිතමු ඔබට අවශ්‍ය දැනට වඩා වැඩි මාසික ආදායමක් කියල. ඔබ සම්මුක සාකච්චාවක් සඳහා ගියාම, එහි මානව සම්පත් කළමනාකරු අහනවා දැනට පඩිය කීයද කියල. ඔබ එය කිව්වම, ඔබට ඊට වැඩ රුපියල් 250ක් වැඩි පඩියක් දෙන්නම් කිවුවොත් ඔබට හොඳයිද?

මදිනේ? එහෙනම්, ඔබට පැහැදිලිවම මැනිය හැකි විදියට “දැනට වඩා වැඩි මාසික ආදායමක්” යන්න නිර්වචනය කල යුතුයි. ඒ රුපියල් 500ද 1000ද 1500ද 2500ද 5000ද යනාදී ලෙස පැහැදිලිව සිත ගන්නේ ඕනේ.

ඔබේ සිහිනයක් නම් සිරුරේ බර අඩු කරගැනීම, කොපමණ කිලෝ ගණනක් අඩු කරගැනීම අවශ්‍යද යන්න පැහැදිලි කරගන්න. එවිට තමයි, දිනපතා බර බලන විටදී තව මෙපමණක් අඩු කරගන්න ඕනෑද කියා පැහැදිලි වෙන්නේ.

3. සැබෑ කරගන්නට පුළුවන් සිහින දකින්න. (Achievable)

සිහින දකිද්දී සීමාවන් තුල සිහින දකින්න කියනවා නොවේ. අපි කවුරුත් හොඳ ජයග්‍රාහී සිහින මැවීම හොඳයි. නමුත් අපේ සිහින අනවශ්‍ය ආකාරයේ අන්තවාදී යථාර්තයෙන් ගිලිහුන ඒවා කරගත්තොත් වෙන්නේ නිතරම බලාපොරොත්තු බිඳ වැටීම පමණයි.

මගේ පියා 1940 දශකයේ මුලදී, පහ වසරේ ශිෂ්‍යත්වයෙන් සමත් වුනා. ඔහු ගොවි පවුලක පුතෙක්. නමුත් ඒ වන විටත් ඔහුගේ පිය මියගිහින්. ඉතින් මගේ ආච්චම්මා ඔහුව තේරුණු මධ්‍ය මහා විද්‍යාලයට යවන්න හදනකොට පවුලේ පොහොසත් නයෝ කියුවලු ගල් වල ඔලුව ගහගන්න හදන්න එපා කියල. නමුත් ඇය තමාගේ එකම පුතාට ඉගැන්වීමේ සිහිනය කොහොමහරි සැබෑ කරගත්ත. මගේ පියා පුද්ගලික ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ගත්තේ රටේ ප්‍රමුක මුල්‍ය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරී (CEO ) තනතුරකින්.

ඔහු පාසල් අධ්‍යාපනයට පසුව රැකියාවකට ගිහින්, අනතුරුව බාහිර උපාධියක් ලබාගෙන, ඉන්පසුව තව දුරටත් රැකියාවක් කර, අනතුරුව තවත් ශිෂ්‍යත්වයකින් ප්‍රංශයට ගිහින් පශ්චාත් උපාධියක්ද ලබාගත්ත. 2018 වසරේදී, වයස 80ක් වී මිය යන තුරුත් ඔහු මහන්සි වී කටයුතු කළා. අලුත් දේ ඉගෙන ගත්ත. ඉගනගෙන පොත් ලියුව.

මේ නිසාම මම විශ්වාස කරනවා ඕනෑම විදියේ අධ්‍යාපන සිහින නම් මහන්සි වුනොත් සාර්ථක කරගන්න පුළුවන් කියල සාමාන්‍ය බුද්ධ්යක් ඇති කෙනෙකුට කියල.

ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් බොහෝ මහන්සි වෙමින්, මට මෙපමණ සම්මාන හෝ විශිෂ්ට සම්මාන ලබාගන්න ඕනෑ කියා මවන සිහිනය යථාර්තවාදී වෙන්න පුළුවන්. හැබැයි, කිසිම පාඩමක් නොකර, මහන්සි නොවී, අධි මානයෙන් මෙහෙම සිහින දකිනවනම් එය යථාර්තවාදී නොවේද?

අවශ්‍ය වන්නේ උසස් සිහින මවමින් එය සැබෑ කරගන්නට මහන්සි වීමයි.

තවත් යථාර්තවාදී නොවන සිහින ගැන උදාහරණ මට නිතර රැකියා ලොවේ හමු වෙනවා. සමහර ඇඟලුම් කර්මාන්ත සේවකයින් ඉන්නවා ගෙවල් සාදාගන්න, නැතිනම් බයික් එකක් ගන්න, නැතිනම් 3 වීලරයක් ගන්න සිහින මවන. හැබැයි ගිය මාසේ කොපමණ ඉතිරි කරාද මේ සිහිනය සැබෑ කරගන්න කියල විමසුවහම සමහරු යම් ගණනක් කියනවා. වැඩි දෙනෙක් කියන්නේ කීයක්වත් නැහැ කියා.

එහෙමනම් බයික් එක ගන්න වෙන්නේ 60 පැනල. ගේ හදාගන්න වෙන්නේ අවුරුදු 60දී වගේ කියල මම කියනවා. ඉතින් ඔබ යම් මුදලක් හෝ ඉතිරි කළා නම්, සමහර විට ඔබ වසරකින් සැබෑ කරගන්න හිතන සිහිනය දෙවසරකින් හෝ තෙවසරකින් සැබෑ කරගන්න හැකි වේවි. එහෙනම් කමක් නැහැ. අතේ ඇති ඉතුරුම් මුදල් සහ මාසික ආදායම සීමිත් වුණාම, එය සාමාන්‍ය දෙයකෙනේ? ඔබට විතරක් මුහුණ දෙන්න වෙන අවාසනාවන්ත දෙයක් නොවේ.

4. ඔබ දකින සිහිනය ඔබගේ වර්තමාන දිවියට අදාළ විය යුතුයි. (Relevant)

ඔබ දන්නවා ඇති සමහර තරුණ විය පැනපු අවිවාහක අය ඉන්නවා සහකරුවකු හෝ සහකාරියක් සොයමින්. නමුත් මා දන්නා අවුරුදු 40 ගණන් වියැති මෙවැනි පිරිමි අය සමහරු තවමත් බලාපොරොත්තු වෙන්නේ එයාල වයස 25දී සෙවූ ආකාරයේ තරුණියන්ව. එම සිහිනය සැබෑ වේවිද? 20 තරුණියන් කී දෙනෙක් 45 කෙනෙක් සමග විවාහ වෙන්නට කැමති වේද?

ඔබටත් මෙවැනි කල් යල් පැන්න සිහින තිබේනම් අදම ඒවා අමතක කර ඔබගේ වර්තමාන තත්වයට ගැලපෙන සිහින සොයාගන්න. කල් ඉකුත් වූ සිහින අතහැර දම්මන්න අමාරු ඇති. නමුත් සිහින සැබෑ වෙන්නේ ඒවා ඔබේ වර්තමානයට ගැලපෙනවා නම් පමණයි.

5. සිහිනයට දිනයක් යොදාගන්න. (Time-bound)

ඔබ නව නිවසක් ගැන හෝ තිබෙන නිවස සම්පුර්ණ කරගැනීමට සිහින මවයි නම් නව නිවසට ගෙවදින දිනය නිශ්චිත කරගන්න. නැතහොත් සම්පුර්ණ කරගත් නිවසේ සතුටු සාදයක් දමන දිනය හිතාගන්න.
විවාහ වෙන්නට සිහින මවයි නම් ඒ සඳහා දිනයක් හිතේ කාවද්දා ගන්න.

සිහිනයට දිනයක් යොදා ගැනීමෙන් එම සිහිනය ඔබේ සිතට තරයේ කාවද්දා ගන්න. එමගින් විවිධ කැප කිරීම් කරමින් හෝ සිහිනය සැබෑ කරගන්නට ඔබට ශක්තිය, ජවය, අධිෂ්ටානය සහ ඉවසීම ලැබෙනු ඇත.

SMART ජීවන සිහින

smart-goals-toolshero-696x348

ඉහත දැක්වූ අයුරින් සාර්ථක කරගන්නට පුළුවන් ජීවන සිහිනයක් ලක්ෂණ වල මුලකුරු භාවිතයෙන් අපිට ඒවා මතක තබාගන්නට ක්‍රමයක් තිබේ. එම ලක්ෂණ වලට අදාළ ඉංග්‍රීසි වදනෙහි මුලකුරු දෙස බලන්න. එයින් අප කවුරුත් දන්නා වදනක් සෑදේ. එනම් SMART යන්නය.

එසේනම් ඔබ විසින් කල යුත්තේ ස්මාර්ට් සිහින දැකීමය. ස්මාර්ට් සිහින වල සාර්ථක කරගන්නට පුළුවන් ජීවන සිහිනයක ලක්ෂණ ගැබ්ව ඇත.

ජීවන සිහින සිතේ පසක් කරගැනීමට හැකි ක්‍රම ගැන අපි පසු දිනයක සොයා බලමු.

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: